2012 අප්‍රේල් දක්වා මාස හතරක කාලයේදී මෙරටට විදේශ රටවල් හා ණය දෙන ආයතන විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 1,015 ක මුදලින් ඩොලර් මිලියන 740.8 ක්ම වෙන්කර තිබෙන්නේ ඉන්දියාව බව හෙළිවේ.
මෙම මුදල් අතර ඉන්දියාව යළි ලබා නොගැනීමට ලබාදෙන ඩොලර් මිලියන 275.1 ක ප්‍රදානයක්ද තිබෙන බව මුදල් අමාත්‍යංශ දත්ත අනාවරණය කරන අතර එම මුදල් උතුරු, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල නිවාස 49,000 ක් ඉදිකිරීම සඳහා ලබාදෙයි.
මීට අමතරව, මෙම කාලය සඳහා ජපානය විසින් ලංකාව වෙනුවෙන් පොරොන්දුව තිබෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 175.3 කි. ඒවා අතර ඩොලර් මිලියන 12.6 ක ප්‍රදාන හා ණය තිබේ.
නෙදර්ලන්තය විසින් ඩොලර් මිලියන 102.5 ක් වෙන්කර තිබෙන අතර ලංකාව විශාල වශයෙන් ණය ගන්නා චීනය මේ වසරේ මුල් මාස හතර තුළ අළුතින් වෙන්කර තිබෙන්නේ ඩොලර් මිලියන 32.5 ක් පමණි.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලංකාවට ලබාදී තිබෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 652.2 ක් වන අතර මෙහි මිලියන 17 ක ප්‍රදාන ඇත.
මෙම ප්‍රදාන අතුරින් යළි නොගෙවිය යුතු වැඩිම ප්‍රදාන මුදල වන ඩොලර් මිලියන 10.5 ක් ලබාදී තිබෙන්නේ ඇමරිකාව වන අතර ජපානය ලබාදී තිබෙන යළි නොගෙවිය යුතු ප්‍රදාන ප්‍රමාණය ඩොලර් මිලියන 5.2 කි.
පසුගිය වසර කිහිපය තුළදී මෙරට යටිතල පහසුකම් වෙනුවෙන් ණය ලබාදීමේ ප්‍රධාන රටක් ලෙස චීනය මතු වුවත් ජපානය තවමත් ප්‍රධාන ණය දෙන රට ලෙස ඉදිරියෙන් සිටී.
මේ අනුව, ජපානය ලබාදී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 202.4 ක් වෙද්දී චීනය ලබාදී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 166.4 කි.
ඉන්දියාව ඩොලර් මිලියන 58.6 ක ණය ලබාදී තිබෙන අතර ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 17.1 කද, ස්වීඩනය ඩොලර් මිලියන 14.2 කද, දකුණු කොරියාව ඩොලර් මිලියන 11.9 කද ණය මේ වසරේ මුල් මාස හතර තුළ මෙරටට ලබාදී තිබේ.
බහු පාර්ශවික ණය දෙන ආයතනද ඩොලර් මිලියන 102.8 ක මුදල් ලබාදී තිබෙන අතර ඒවා තුළ ඩොලර් මිලියන 1.3 ක ප්‍රදාන ඇත.
මෙහිදී, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 50.1 ක් හා ලෝක බැංකුව ඩොලර් මිලියන 44.9 ක් ලබාදී තිබෙන බව දත්ත හෙළිකරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=1045118378