මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුක්ත ලෙස සැලසුම් කර තිබෙන සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා අවසාන අදියරේ සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවත් මේ වසර අවසන් වීමට පෙර බලාගාරයේ වැඩ අරඹන බවත් රජයේ නිළධාරියෙකු කියයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති අනුර සේනක විජයපාල මහතා පැවසුවේ මෙගාවොට් 250 බැගින් මෙම බලාගාරය ඉදිකිරීමට සාකච්ඡා කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ මෙයට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි.
මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දියාවේ නැෂනල් තර්මල් පවර් කෝපරේෂන් ඒකාබද්ධව 50/50 සහභාගීත්වයෙන් යුතු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන අතර මෙය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.
2016 අවසාන වනවිට සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව විදුලි බල මණ්ඩලය කියයි.
කෙසේවෙතත්, විදුලි බල අංශයේ විශ්ලේෂකයෙකු වන කලක් විදුලි බල මණ්ඩලයේ උත්පාදන සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කළ තිලක් සියඹලාපිටිය අනතුරු හඟවා තිබෙන්නේ සාම්පූර් බලාගාරය ඉදිකිරීම පමා වුවහොත් මෙරට බලශක්ති අංශයේ අර්බුද වැඩිකිරීමට එය හේතුවනු ඇති බවටයි.
සාම්පූර් බලාගාරයෙන් ගිගාවොට් පැය 3,200 ක් හෙවත් මෙරට වාර්ෂික බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 19 ක් පමණ උත්පාදනය කිරීමට නියමිතය.
“2017 දී මෙම බලාගාරයේ වැඩ අවසන් කිරීමට 2013 දී වැඩ ආරම්භ කළ යුතුයි.“
යනුවෙන් “ද අයිලන්ඩ්“ පුවත් පතේ විශ්ලේෂණ වාර්තාවකදී හෙතෙම සඳහන් කර ඇත.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ 2013 අවසානය වනවිට මෙරට විදුලි බල අංශය අර්බුද වලින් ගොඩඑනු ඇති බවත් පුත්තලම ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියර එම කාලයේදී අවසන් වනු ඇති බවයි.
එවිට පුත්තලම ගල් අඟුරු බලාගාරයෙන් නිපදවෙන විදුලිය මෙගාවොට් 600 කි.
2014 වනවිට ද්‍රව වායු මගින් විදුලිය නිපදවීමට සූදානම් බවත් සාම්පූර් බලාගාරය 2016 අවසාන කාලයේදී පද්ධතියට එක්කළ විට මෙරට විදුලි බල අංශයේ තුවාල සම්පූර්ණයෙන් සුව වෙතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=148388527