හණමිටි න්‍යායන් පසෙක ලා යටිතල පහසුකම් වලට අදාළ සිද්ධාන්ත ප්‍රායෝගිකව ලංකාවේ වර්තමාන දේශපාලනය හා සමාජ යථාර්තයට ගලපා ගන්නේ කෙසේදැයි ගැඹුරින් සාකච්ඡා කරමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග මහතා සමග එක්ව “අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද“ නමින් ග්‍රන්ථයක් රචනා කරයි.
2012 අගෝස්තු 06 වන සඳුදා සවස 4.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී කියවනු රිසි ජනතාව වෙනුවෙන් මෙම පොත පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙන අතර සාමාන්‍ය පාඨකයා වෙනුවෙන් සරල බස් වහරකින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.
මාර්ග සහ අධිවේගී මාර්ග, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය, දුම්රිය, වාරි හා පානීය ජලය, විදුලිය, ගල් අඟුරු බලාගාර, න්‍යෂ්ටික බලාගාර, සන්නිවේදනය, සේවා ආර්ථිකය හා රැකියා උත්පාදනය, මූලික හා තෘතීය අධ්‍යාපනය, ජාත්‍යන්තර ආර්ථිකය, ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුම, පාඩු ලබන ආණ්ඩුවේ ව්‍යවසාය, පාඩු මකා සේවය ඉහළ නංවන ප්‍රතිසංස්කරණ ආදී විෂයන් සාකච්ඡා කිරීම මෙම පොත මගින් සිදු කරයි.
මෙම ග්‍රන්ථය මගින් සැමට බලපාන ප්‍රශ්න වලට යථාර්තවාදී විසඳුම් සඳහා සලකා බැලිය හැකි විකල්ප ක්‍රියා මාර්ග ඉදිරිපත් කරනු ලබයි.
හණමිටි න්‍යායන් පසෙක ලා චීනය යථාර්තවාදීව ඉදිරියට ගිය සේ අපිටද අදට ගැලපෙන ක්‍රියා මාර්ගයකට අවතීර්ණ විය යුතුබව මෙම ග්‍රන්ථයෙන් අවධාරණය කෙරේ.
අප කාගේත් යහපැවැත්මට අත්‍යවශ්‍ය වන සඵල ප්‍රතිඵල ගෙනදෙන ආර්ථික ක්‍රමවේද පිළිබඳව හරවත් විද්වත් සංවාදයකට පදනමක් දැමීම මෙම ග්‍රන්ථයේ ප්‍රධාන අරමුණයි.
මෙම ග්‍රන්ථයේ සම කර්තෘ මහාචාර්ය රොහාන් සමරජීව මහතා තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති හා නියාමනය පිළිබඳ විද්වත් ආයතනයක් වන ලර්න්ඒෂියාහි සමාරම්භක සභාපතිවරයා මෙන්ම එහි ප්‍රධාන විධායකවරයා වේ.
ලර්න් ඒෂියා ආයතනය ආර්ථික වශයෙන් වැඩී එමින් සිටින ආසියානු රටවල් 12 ක ක්‍රියාකාරීව කටයුතු කරයි.
2002 සිට 2004 දක්වා ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ කණ්ඩායම් ප්‍රධානියා ලෙස සේවය කළ මහාචාර්ය සමරජීව මෙරට යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ රැසකට සම්බන්ධ වූ අතර ඊ- ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සැලසුම් කිරීමටද ඔහුගේ දායකත්වය ලැබුණි.
ඔහු 1998-99 කාලයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අතර 2003-2005 කාලයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සමාරම්භක අධ්‍යක්ෂවරයාද විය.
මීට අමතරව, 2003-2004 කාලයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයෙකු ලෙසද, 2000-2003 කාලයේදී නෙදර්ලන්තයේ Delft University of Technology හි ආරාධිත මහාචාර්යවරයෙකු ලෙසද 1987-2000 කාලයේදී ඇමරිකාවේ Ohio State විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද සේවය කළ හෙතෙම 2007-2009 කාලයේදී බංග්ලාදේශයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ ප්‍රතිපත්ති උපදේශකවරයෙකු ලෙස සේවය කර තිබේ.
පුවත් පත්, වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය තුළින් විශ්ලේෂණාත්මක ලිපි පාඨකයා වෙත තිළිණ කරන මහාචාර්ය රොහාන් සමරජීව ග්‍රන්ථ ගණනාවක් රචනා කර තිබෙන ප්‍රවීණ ලේඛකයෙකි.
“අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද“ නැමති නව ග්‍රන්ථයේ සම කර්තෘ වන සී.ජේ අමරතුංග මහතාද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර 1985 වසරේ සිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇත.
ඔහු මේ වනවිට “ඉරිදා ලංකාදීප“ පුවත් පතේ ප්‍රාදේශීය සංස්කරණයේ කර්තෘවරයා ලෙස සේවය කරයි
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1342162802