මෙරට විශාලතම වෙළඳ පාර්ශව කරුවා වන ඇමරිකාව මෙරට ආයෝජන කටයුතු පුළුල් කිරීමට හා මෙරට අපනයන වලට වැඩි තැනක් ලබාදීම පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව මෙරට ඇමරිකානු වාණිජ මණ්ඩලය (AMCHAM) කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති විජය රත්නායක මෙසේ අදහස් දැක්වීය.
“ලංකාවට ලබාදෙන සෘදු විදේශීය ආයෝජන ප්‍රමාණය වැඩිකිරීමට ඇමරිකාව කැමැත්ත දක්වා තිබෙනවා. ඒ වගේම, ඇමරිකාවට යන ලංකාවේ අපනයනවල වර්ධනයක්ද පෙනෙන්නට තිබෙනවා.“
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය හා ඇමරිකානු වාණිජ මණ්ඩලය එක්ව එළඹෙන සැප්තැම්බර් 16 වනදා කොළඹදී වෙළඳ ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙන අතර දෙරට අතර වෙළඳ, ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා ප්‍රවර්ධනය මෙහි අරමුණයි.
මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී දෙරටේ වෙළඳ හවුල් කරුවන් සම්බන්ධ කර දීමටද අදහස් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විජය රත්නායක මහතා පැවසුවේ ඇමරිකාව සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇතිකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මෙරට ව්‍යාපාරිකයින්ට මෙය කදිම අවස්ථාවක් බවයි.
දෙරට අතර ආර්ථික සම්බන්ධතා ධෛර්යමත් කිරීම හා ශක්තිමත් කිරීම මෙම වෙළඳ ප්‍රදර්ශනයේ මූලිකම අරමුණ බව මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසා තිබේ.
ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව කැමැත්තක් දක්වන ඇමරිකානු ආයෝජකයින් මෙම වෙළඳ ප්‍රදර්ශනයට පැමිණීමට නියමිත බව සඳහන්ය.
මෙරට, විශාලතම වෙළඳ හවුල් කරුවා ඇමරිකාව වන අතර මෙරට ඇඟලුම් ප්‍රමුඛ අපනයන වලින් සියයට 22 ක් මිලදී ගනු ලබන්නේ ඇමරිකාව විසිනි.
පසුගිය වසරේ ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයේ බැඳුම්කර නිකුතුවෙන් අඩක් පමණම ඇමරිකානු ආයෝජකයින් විසින් මිලදී ගත් අතර ඊට ඉහත බැඳුම්කර නිකුතු වලදීත් එවැනිම ප්‍රවණතාවයක් දකින්නට තිබුණි.
ඇමරිකාව පදනම් කරගත් Templeton අරමුදල් කළමනාකරණ සමාගම මෙරට රුපියල් සුරැකුම් පත් වැඩිපුරම මිලදීගෙන තිබෙන විදේශීය සමාගම වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2140043036