Citrus Leisure සමාගම් සමූහයට අයත් Citrus Kalpitiya සමාගම විසින් කල්පිටිය කළපුවට මායිම් වන ලෙස සුපිරි සංචාරක නිවාස 32 ක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන අතර ඒවා 99 අවුරුදු බදු පදනම මත විකුණා කාලය කොටස් කර ලබාදීමේ පදනම (time-share basis) යටතේ කළමනාකරණය කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව, සමාගම විසින් කල්පිටියේ අක්කර 78 ක භූමි භාගයක සුපිරි හෝටලයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙන අතර සමාගම මේ වනවිටත් රුපියල් මිලියන 67 කට අක්කර 35 ක් හා 99 අවුරුදු බදු පදනම අනුව අක්කර 42 ක් Asia Sports Management Private Limited යන සමාගම මගින් ලබාගෙන තිබේ.
වැඩි වියදමක් කරන සංචාරකයින් ඉලක්ක කර මෙම සුපිරි සංචාරක නිවාස 32 ගොඩනැගීමට සැලසුම් කර තිබෙන්නේ සමාගම විසින් කල්පිටියේ සිදුකරන පළමු සංචාරක ව්‍යාපෘතිය ලෙසයි.
මෙම සෑම සංචාරක නිවාසයක්ම පර්චස් 40 ක බිමක ගොඩනැගීමට සැලසුම් කර තිබෙන අතර මෙහි වෙසෙන අයට මුහුදට යාමට අවශ්‍ය වූ විටෙක භාවිතා කිරීම සඳහා බෝට්ටුවක්ද සැපයීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.
මෙම සංචාරක බංගලා 99 අවුරුදු බදු පදනම අනුව විකිණීමට සැලසුම් කර තිබෙන බවත් එහිදී ඒවා අයිතිකරුවන්ට කාලය කොටස් කර විකිණීමේ පදනමට අනුව (time share basis) නැවත සිය සමාගමට කළමනාකරණය කිරීමට පැවරිය හැකි බවත් සඳහන්ය.
කාලය කොටස් කර විකිණීමේ සංකල්පය (time share basis) යනුවෙන් අදහස් කරන්නේ යමෙකුට හෝටල් කාමරයක් හෝ දේපොළක් වසරේ යම් නිශ්චිත කාලයක් (සතියක් වුවද) සෑම වසරකම දිගු කාලයක් පුරා මිලදී ගැනීමට හැකිවන ලෙස ගොඩනගා තිබෙන එකකි.
මෙහිදී, මෙම තැනැත්තන්ට තමා මිලදී ගන්නා අදාළ දේපොළ වෙනත් සංචාරකයින්ට විකුණා ලාභ ලැබීම, තමන්ට භාවිතා කිරීම හෝ හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමිවේ.
Citrus Kalpitiya සමාගම විසින් කල්පිටියේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටලයේ සුපිරි සංචාරක නිවාස 24 ක් හා හෝටල් කාමර 126 ක් තිබෙන අතර එහි නිර්මාණකරුවා වන්නේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ස්මයිල් මහතායි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=899900653