නියඟයෙන් තේ කර්මාන්තය අනතුරේ
දැඩි නියඟය හේතුවෙන් මෙරට තේ වගාවට හානි සිදුවී තිබෙන බවත් සමහර වැවිලි සමාගම්වල පිරිවැය පවා පියවා ගැනීමේ අර්බුදයක් ඇතිවී තිබෙන බවත් වැවිලි කරුවන්ගේ සංගමය කියයි.
වැවිලි කරුවන්ගේ සංගමය කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වැවිලි සමාගම් වලින් සැදුම්ලත් එකකි.
මෙම සංගමය වැඩිදුරටත් පවසා තිබෙන්නේ නියඟය කෙතරම් දරුණුවට බලපා තිබෙනවාද යත් සමහර තේ කර්මාන්ත ශාලාවල ධාරිතාවය පිරවීමට තරම් අමු තේ දළු නොලැබීමේ ගැටලුවකටද සමහර තේ කර්මාන්ත ශාලා මේ වනවිට පත්ව තිබෙන බවයි.
මෙම නියඟය හේතුවෙන් 2012 ජනවාරි සිට අගෝස්තු දක්වා උඩරට තේ නිෂ්පාදනය පසුගිය වසරේ ආදාළ කාලයට සාපේක්ෂව සියයට 11.6 කින් පහත වැටී තිබෙන බව සඳහන්ය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත වලට අනුව මේ වසරේ මුල් මාස 08 තුළදී උඩරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයේදී වූ කිලෝ මිලියන 54.7 ක මට්ටමක සිට කිලෝ මිලියන 48.3 ක් දක්වා අඩුවී තිබේ.
මේ අතර, උඩරට, මැදරට හා පහත රට යන අංශ තුනේම තේ නිෂ්පාදනය මෙම කාලයේදී සියයට 3.1 කින් අඩුවී තිබෙන අතර නිෂ්පාදනය කර තිබෙන ප්‍රමාණය කිලෝ මිලියන 214.4 කි.
2011 අදාළ කාලයේ අංශ තුනම විසින් තේ කිලෝ මිලියන 221.1 ක් නිපදවා තිබුණි.
source - http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2137616674