ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය ඇතුළු පාඩු ලබන රාජ්ය ආයතනවල පාඩුව අඩකින් පමණ අඩුකර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් මේ නිසා මෙම ආයතන වලට මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් ලබාදිය යුතු ණය අඩුකර ඒවා වෙනත් ව්යාපාරික කටයුතු වලට මුදා හැරීමේ සැලසුමක් තිබෙන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා අනාවරණය කළේය.
අද කොළඹදී අදහස් දක්වමින් මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පැවසුවේ මෙවැනි ආර්ථික උපාය මාර්ගයක් තුළ ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් තිබෙන ඇති බවයි.
“පොලී අනුපාත වසර මැද වනවිට තවත් අඩුවේවි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලේකම්වරයා කීය.
පසුගියදා මහ බැංකුව විසින් සිය ප්රතිපත්ති පොලී අනුපාත පහත දැමූ අතර ඒ අනුව යමින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පසුගිය සති කිහිපයේදීම පිට පිටම පහළ වැටුණි.
පසුගියදා සිය ප්රතිපත්ති පොලී අනුපාත පහළ දමමින් මහ බැංකුව පැවසුවේ වාණිජ බැංකු මත ණය ලබාදීම පිළිබඳව සීමාවක් පනවා තිබුණත් එම සීමාවට ළඟාවීමට වාණිජ බැංකු ණය ලබාදී නොමැති බවත් තවදුරටත් ණය ලබාදීමට වාණිජ බැංකු වලට හැකියාවක් තිබෙන බවයි.
පසුගිය වසරේදී වාණිජ බැංකු වලින් ගලාගිය ණය වැඩිවීම හා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතනවල ණය පියවීමට ලංකා බැංකුව හා මහජන බැංකුවෙන් ලබාදුන් ණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවූ අතර මහ බැංකුව එම පීඩනයෙන් මිදීමට පොලී අනුපාත වැඩිකර ණය වර්ධනය අඩුකළේ නැත.
සිදුකළේ විදේශ සංචිත විකුණමින් එම පීඩනයෙන් මිදීමයි. කෙසේවෙතත්, විදේශ සංචිතය දියවීම යාම හමුවේ පොලී අනුපාත වැඩිකිරීමටත් විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමටත්, තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ පාඩු අඩුකර ගැනීම සඳහා ඉන්ධන මිල හා විදුලි මිල වැඩිකිරීමටත් පසුව පියවර ගනු ලැබීය.
මහ බැංකුව මෑතකදී සඳහන් කළේ මෙම ගැලපුම් සඳහා ශ්රී ලාංකේය ආර්ථිකය හොඳින් ප්රතිචාර දක්වා තිබෙන බවයි.