කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ 2013 වර්ෂය සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ වියදම පිළිබද අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
2013 වර්ෂයේ ජාතික විදුලිබල ඉල්ලුම සැපයීම සඳහා රුපියල් බිලියන 268ක් වියදම්වනු ඇතැයි විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබෙන අතර මෙම වියදම් ඇස්තමේන්තුව අධ්‍යනය කර තිබෙන කොමිෂන් සභාව අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන වියදම් හඳුනාගත් බව සඳහන්ය.
එම වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී කොමිෂන් සභාව විසින් අනුමත ක්‍රමවේදයට අනුව නිවැරැදි ලෙස වියදම් සකස් කර තිබේදැයි යන්නද සොයා බලා තිබේ.
මේ අනුව, අඩුකර තිබෙන්නේ හඳුනාගත් අත්‍යවශ්‍ය නොවන වියදම් වන අතර කපාහරින ලද වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 33 කි.
මෙසේ ඇස්තමේන්තුගත වියදම සංශෝධනය කිරීම එක් අතකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එක්විමට තිබූ පිරිවැයක් ඉවත්කිරීමක් බව කොමිෂන් සභාව කියයි.
අනෙක් අතින් මෙය රජය විසින් විදුලිබල මණ්ඩලයේ සහනාධාර ලෙස දැරිය යුතු අමතර වියදම අඩුකිරීමකි. විදුලිබල ගාස්තු සංශෝධනයක් අවශ්‍යවේ නම් ලංකා විදුලිබල මණ්ඩලය සිය ගාස්තු යෝජනා සකස් කළ යුතු වන්නේ කොමිෂන් සභාව විසින් සංශෝධනය කළ මෙම වියදමට යටත්ව බවත් එම ගාස්තු සංශෝධනය සඳහා කොමිෂන් සභාවේ අනුමැතියද අවශ්‍ය බවත් මහජන උපයෝගීතා කොමිසම කියයි.
මෙහිදී කපාහැරුණු වියදම් අතරට ඇතුළත් වන්නේ පහත සඳහන් අයිතම යටතේ ඇතුළත් කර තිබූ තාර්කික නොවන වියදම් හා ඉතිරිකිරීම් බව කොමිසම සඳහන් කරයි.
• ගිවිසුම් අවසන් වූ ඇතැම් පුද්ගලික බලාගාරවලින් විදුලිබලය මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා ඒවායෙන් විදුලිය මිලදි ගැනීමට වෙන්කළ වියදම් (ගිවිසුම් අවසන් වූ බලාගාර වලින් සපයා ගැනීමට අපේක්ෂිත ධාරිතාවය විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාරවලින් ලබාගැනීමට හැකිබව කොමිෂන් සභාවේ ස්ථාවරයයි)
• 2013 ජනවාරි මාසයේ ජල විදුලිබලාගාර වල උත්පාදන තත්ත්වය අනුව මේ වසරේ ජල විදුලි බලාගාර වලින් දායක කෙරෙන විදුලිබල ධාරිතාවය මුල් ඇස්තමේන්තුවට වඩා වැඩිවන අතර එම අමතර ජල විදුලිබල ධාරිතාවය හේතුවෙන් කෙරෙන ඉතිරිකිරීම්
ඉහත ආකාරයන් තුළින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 22ක වියදමක් ඉතිරි කර ගැනීමට හැකිබව කොමිෂන් සභාවේ ඇස්තමේන්තුවයි.
ඊට අමතරව, අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන වියදම් හඳුනාගැනීම හරහා රුපියල් බිලියන 05ක් පමණ අඩුකිරීමට හැකිවී තිබේ. එසේම විදුලිබල සැපයුමට අදාල නොවන වියදම් වශයෙන් හඳුනාගත් රුපියල් බිලියන 06 ක්ද විදුලිබල මණ්ඩලයේ ඇස්තමේන්තුගත වියදමින් අඩුකර ඇත.
ඇස්තමේන්තු වියදම් සංශෝධනයෙන් අනතුරුව සංශෝධිත වියදම මත පදනම්ව විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන යෝජනාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිබව සඳහන්ය.
විදුලිබල ගාස්තු සංශෝධනයක් අවශ්‍යනම් ඒ සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනුයේ එම යෝජනාව පදනම් කරගෙන වන අතර ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නම් එහිදී කොමිෂන් සභාව අනුගමනය කරන පියවර පහත දැක්වේ.
• විදුලිබල මණ්ඩලයේ වියදම් ඇස්තමේන්තුව හා ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත්කිරිම සඳහා මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වයන්ට ඉඩකඩ ලබාදීමට උපදේශනයක් පැවත්වීම
• මහජන අදහස් හා රාජ්‍ය ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු යෝජනාව අනුමත කිරීම හෝ සංශෝධනය කර අනුමත කිරීම
ඉහත සියලු අවස්ථාවන් හිදී මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට කොමිෂන් සභාව පියවර ගන්නා බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1611267916