කීර්ති වර්ණකුලසූරිය - ජිනීවා නුවර සිට
ජිනීවා සමුළුවේ යෝජනා ලබන වසරේ මාර්තු මාසය වන විට ඉටු නොකළොත් ශ්‍රී ලංකාවට එරෙහිව පැනවීමේ යෝජනාවක් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත ඉදිරිපත් කිරීමට ඇමරිකාව සැලසුම් කර ඇත. ඇමරිකාව විසින් ජිනීවා සමුළුවට ඉදිරිපත් කළ යෝජනා සියයට සියයක්‌ම ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බව ඇමරිකාවේ ස්‌ථාවරය වී තිබේ.
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, බලය විමධ්‍යගත කිරීම, වන්නි අවසන් සටනේදී මානුෂීය නීතිය උල්ලංඝනය වී ඇත්දැයි සොයාබැලීමේ විමර්ශනයකට ඉඩ දීම, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම, රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ කටයුතු කරගෙන යැමට අවසර දීම, ජිනීවා සමුළුවට ඉදිරිපත් වූ යෝජනා අතර ප්‍රධාන තැනක් ගනී.
ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ යෝජනාවක් ඇමරිකාවට ඉදිරිපත් කළ නොහැකි අතර එවැනි යෝජනාවක් ඉදිරිපත් කළොත් රුසියාව හා චීනය නිෂේද බලය යොදවා එය පරාජය කරන බව එම රටවල් දෙකෙහි තානාපතිවරු දැනටමත් ප්‍රකාශ කොට තිබේ.
ඇමරිකාව විසින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා රජයට කිසිසේත් නොහැකි බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
රටේ ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාවයට හානි වන ආකාරයේ කිසිදු යෝජනාවක් සම්බන්ධව සාකච්ඡා කිරීමටවත් සූදානම් නැති බව එම ප්‍රකාශකයා කීය.
දශක ගණනාවක් තිස්‌සේ පැවැති යුද්ධය අවසන් කර රට ගොඩනැගීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් රජය ක්‍රියාවට නංවා තිබෙන බවත් ඒ වැඩපිළිවෙළ කුමන හේතුවක් නිසාවත් ආපස්‌සට හැරවීමට ජාත්‍යන්තර බලවේගවලට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ නොදෙන බවත් එම ප්‍රකාශකයා අවධාරණය කළේය.
ආණ්‌ඩුව දියත් කරමින් පැමිණි ජනතාවාදී වැඩපිළිවෙළ ඒ ආකාරයට ජිනීවා සමුළුවෙන් පසුව ද ක්‍රියාත්මක කිරීමට රජය දිගින් දිගටම කැපවන බව එම ප්‍රකාකයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2013/03/24/news01.html