May 29th, 2015
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය.
වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි.
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට 6.125 ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 3.97 කින් පමණක් බවයි.
කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත.
2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට 23 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 27 ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට 50 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි.
ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපයේ සහ ජපානයේ පොලී අනුපාත බින්දුවට ආසන්න නිසා විදේශීය ආයෝජකයින් ලංකාව වැනි රටවල බැඳුම්කර මිලදීගැනීම සඳහා උනන්දු වන බවත් එහිදී අඩු පොලියට ණය ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.