ජනතා විමුක්ති පෙරමුණ සැලැකිය හැක්කේ රටේ තුන්වන දේශපාලන බලවේගය හැටියට ය. මෙතෙක් රාජ්‍ය බලය ලබාගෙන නැතත්; පාලක පක්ෂය කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රධාන බලවේගය හැටියට ද ජනතා විමුක්ති පෙරමුණට ජනතාව අතර පිළිගැනීමක් තිබේ. පළමුව විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ලෙස අවි බලයෙන් ආණ්ඩු පෙරළා දැමීමට උත්සුක වූ මේ ව්‍යාපාරය අද ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්ති පිළිගනිමින් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙයි. අද මේ පක්ෂයේ අදහස වන්නේ මහජනයා දැනුම්වත් කිරීමෙන් රාජ්‍ය බලය ලබා ගත හැකි බවය. ජනතා විමුක්ති පෙරමුණ සැලැකිය යුතු අන්දමින් දේශපාලන පරිවර්තනයකට ලක් වී ඇති බව පෙනෙන්නට තිබේ.
ඉදිරි මැතිවරණය සඳහා වූ ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා එළිදැක්විණි. එය හඳුන්වා තිබුණේ “හෘද සාක්ෂියේ සම්මුතිය” යනුවෙන් ය. ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා දෙන ජාතික වැඩපිළිවෙළ ලෙස ද එය පෙන්වා දිය හැකි ය. ජනතාවාදී පාලනයක් ඇති කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හා විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම කෙරෙහි පක්ෂයේ දැඩි අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ හැරෙන්නට ප්‍රධාන ශීර්ෂ පහක් යටතේ ජාතික සංවර්ධනය සැලැසුම් කර තිබේ. පළමුවන්න ජනතාවාදී පාලනයක් යන්න ය. දෙවන්න උසස් මානව සම්පතක් යන්න ය. තෙවන්න නවීකරණය හා කාර්මිකකරණය ලෙස දක්වා තිබේ. හතරවන්න සාධාරණ සමාජය වන අතර පස්වන්න නිවහල් මිනිසෙක් ලෙස සඳහන් කර තිබේ.
ජනතාවාදී පාලනයක් යන්නෙන් ජාතීන් අතර සමගිය ගොඩනැඟීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා මූලික මිනිස් අයිතීන් සුරැකීම වැනි තත්ත්වයන් අපේක්ෂා කෙරේ. උසස් මානව සම්පතක් යන්නෙන් මිනිසාට අවශ්‍ය ශාරීරික හා මානසික පෝෂණය ගැන අවධානය යොමු කර තිබේ. නවීකරණය හා කාර්මිකකරණය යන්නෙන් අදහස් කරනුයේ රටට ගැළපෙන නූතන ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් ලෙස ජාතික සම්පත් පරිහරණය කිරීම ය. සාධාරණ සමාජය යටතේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමද, යුක්තිගරුක සමාජයක් ගොඩනැඟීම ද සිදු වේ. නිවහල් මිනිසෙක් යන ශීර්ෂය යටතේ පුද්ගලයාගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනයට අවස්ථා ඇති කරන අතර කලාව හා ජනමාධ්‍ය දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීමට සැලැසුම් කෙරේ.
ඕනෑම දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශ හා සංවර්ධන සැලැසුම් ගෙන බලන විට ඒ එකක්වත් නරක නැත. ආකර්ෂණීය වචනවලින් ද අපූරු සැලැසුම්වලින් ද, වැදගත් ප්‍රතිපත්තිවලින් ද ඒවා සමන්විත වෙයි. දේශපාලන ඉතිහාසයේ වසර හැට ගණනක් පුරාවටම අපි එබඳු ප්‍රතිපත්ති ප්‍රකාශ හා සංවර්ධන සැලැසුම් දැක ඇත්තෙමු. එහෙත් එම සැලැසුම්වලට අනුව රට හා ජාතිය සමෘද්ධිය කරා ගොස් නැත. වරද ඇත්තේ සැලැසුම් තුළ නොව ; ඒවා ක්‍රියාත්මක කිරීම තුළ ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කළ නොහැක්කේ එය පක්ෂයක් ලෙස රටේ පාලන බලය ලබාගෙන නැති බැවින් ය. එබැවින් අදටත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් විවේචනයට ලක් වන්නේ අඩුවෙන් ය.
ජනතා විමුක්ති පෙරමුණෙහි වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා “හෘද සාක්ෂියේ සම්මුතිය” නම් ජාතික වැඩපිළිවෙළ එළිදක්වමින් වැදගත් කතාවක් ද කළේ ය. ඔහු මේ කතාවේ දී සඳහන් කළේ ඉතිහාසයේ ඇතැම් සිදුවීම් ගැන දැන් තම පක්ෂය කම්පාවට පත් වන බව ය. මිනිස් ඝාතන සම්බන්ධයෙන් , දේපොළ විනාශ කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද බරපතළ චෝදනාවක් මේ ව්‍යාපාරයට තිබේ. එය ඕනෑම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එල්ල වන පොදු චෝදනාවක් ලෙස ද සැලැකිය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණෙහි වත්මන් නායකයන් ඉතිහාසයේ සිදු වූ වැරැදි පිළිගැනීමත් ඒ සඳහා ස්වයං විවේචනයක් ඉදිරිපත් කිරීමත් වැදගත් ය. අනුර කුමාර දිසානායක මහතාගේ කතාවෙන් ද පැහැදිලි වන්නේ ජවිපෙ අලුත් ගමනක් ආරම්භ කර ඇති බව ය.
මෑත ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ ගනු ලැබූ තීන්දු හා තීරණ කෙරෙහි රටේ බහුතර ජනතාව ගේ ප්‍රසාදයක් පවතී. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ පසුව එම ආණ්ඩුව විවේචනයට ලක් කරන ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් විය. පැවැති ආණ්ඩුවේ දූෂණ හා වංචා හෙළිකිරීම සම්බන්ධයෙන් ද වැදගත් කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ ඉටු කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ කියා සිටින්නේ ද මහින්ද රාජපක්ෂ යුගයක් නැවත අවශ්‍ය නො වන බව ය. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී ඉන්දියන් විරෝධී ප්‍රතිපත්තියක දැඩි ලෙස එල්බී සිටිය ද; අද එවැන්නක් දකින්නට නැත. කිසිදු රාජ්‍යයකට තනිව නැගී සිටිය නොහැකි බවද දියුණුව සඳහා ජාත්‍යන්තර සබඳතා අවශ්‍ය බව ද අද ඔව්හු පිළිගනිති. මේ සියල්ල සාධනීය දේශපාලන සාධක ලෙස දකින්නට පුළුවන.
පොරොන්දු දේශපාලනයෙන් ප්‍රතිපත්ති දේශපාලනයක් වෙත ගමන් කිරීමේ වුවමනාව ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට ඇති බව මෑත කාලීන සිදුවීම්වලින් හොඳහැටි පෙනී යයි. පාර්ලිමේන්තුවට පත් වන මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් පැවැතිය යුතු බවට ද, ඔවුන් පිළිගත හැකි සුදුසුකම්වලින් සමන්විත විය යුතු බවට ද සංවාදයක් ගොඩනැඟෙන්නේ ඒ අනුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවටද තර්කයක් නැඟෙන්නේ ද ඒ අනුව ය. වසර හැටහතක දේශපාලන ඉතිහාසය දෙස හැරීබලන විට පෙනී යන්නේ අපේ දේශපාලන සම්ප්‍රදායයන් හා මැතිවරණ පවත්වන ක්‍රමය ද වෙනස් විය යුතු බව ය. ජනතා විමුක්ති පෙරමුණ පමණක් නො ව; එක්සත් ජාතික පක්ෂය ද එය පිළිගනී.
කුමක් වුව තීන්දුව ඇත්තේ ජනතාව අතෙහි ය. ජනතාවගේ තීන්දුව මත රටේ අනාගතය විසඳෙනු ඇත. මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ ජනතාවට ඇත්ත කීම යැයි අපට සිතේ.
http://www.dinamina.lk/?q=2015/07/24/කතුවැකිය/හෘද-සාක්ෂියේ-සම්මුතිය