9.41 AM : මේ අනුව කථානායක කරු ජයසුරිය කථානායක අසුනේ අසුන් ගන්නා ලදී. තවද මන්ත්‍රීධුර සඳහා මන්ත්‍රීවරුන් කතානායක ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
9.36 AM : අගමැතිතුමා විසින් කතානායකවරයා ලෙස කරු ජයසුරිය මහතා යෝජනා කළ අතර එය නිමල් සිරිපාල මන්ත්‍රීතුමා විසින් ස්ථිර කරන ලදී.
9.30 AM : 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය තවත් මිනිත්තු කිහිපයකින් පමණ ආරම්භවීමට නියමිතයි. නව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන්නේ සුවිශේෂ වාර්තා කිහිපයක් ද සමගින්. ඉන් එක් වාර්තාවක් වන්නේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් අතුරෙන් තුන්දෙනෙකු පළාත් තුනක ප‍්‍රධාන අමාත්‍යවරුන් වීමයි. එම මන්ත‍්‍රීවරුන් වනුයේ
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු,
බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග
වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර
මීට අමතරව වසර 30කට පසු අඹු - සැමි යුවලක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ, දයා ගමගේ සහ අනෝමා ගමගේයි. එකම පවුලේ සහෝදරවරුන් කිහිප දෙනෙනකු ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා. අර්ජුණ රණතුංග සමඟ ප‍්‍රසන්න රණතුංග සහ වසන්ත අලූවිහාරේ හා රංජිත් අලූවිහාරේ එම සහෝදරයන්.
මෙවර පාර්ලිමේන්තුවේ තවත් විශේෂත්වයක් වනුයේ ලෝකයේ සිව් වරක් අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වූ දෙවන තැනැත්තා වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමයි. එමෙන්ම හිටපු විධායක ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම ද අද 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ විශේෂත්වයක්. හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුතු නාමල් රාජපක්ෂ ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි. එමෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය - පුතු යුගලයක්.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක ධුරයට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමගේ නම් ද යෝජනා වී ඇති බව සදහන්. කෙසේ වුවත් විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිවෙකු නොසිතන තීන්දුවක් අද දිනයේදී ජනාධිපතිවරයා ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළා.
8.00 AM : 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදයි
ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ආරම්භ කෙරෙනවා. ස්ථාවර නියෝගවලට නව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා පත් කර ගන්නා තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.
පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කථානායකවරයෙකු තෝරාගැනීමට නියමිතයි. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිවුරුම්දීම සිදු කෙරෙන්නේ. පසුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ. නැවත පාර්ලිමේන්තුව සවස 3 ට රැස්වන අතර, ඉන් අනතුරුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
අද ආරම්භ වන 8 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පසුගිය අගෝස්තු 17 වන දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගත්තා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් හිමි වූ අතර දෙමළ ජාතික සන්ධානට ආසන 16ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊ.පී.ඞී.පී. සංවිධානයට එක් ආසනය බැගින් වුණා. කෙසේ වුවත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබෙනවා.