ණය අයකර ගැනීම වසර තුනකට අත්හිටුවන්න : අගමැති මහින්ද ඉල්ලයි
ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කිරීම ඉන්දියාව විසින් තාවකාලිකව නතර කරන්නේ නම් එය අනෙක් රටවල් වලින්ද ඒ ආකාරයෙන් සහනයක් ලබා ගැනීමට හැකිවෙනු ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අගමැතිවරයා ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.
" අප මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ජා කළා. ඉන්දියාවට හැකිනම් වසර තුනක් යන තුරු අපට ණය වාරික අයකිරීම් නතර කරන්න අපට චිනය් ඇතුළු අනෙක් රටවල් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා ඔවුන් ගෙන් ද එම සහනය ලබා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරනවා. අපට මේ වසර තුනක කාලය අවශ්‍ය වන්නේ යලි රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවා ගැනීමටයි. පසුගිය රජය අනවශ්‍ය ආකාරයෙන් ණය ලබා ගැනීම් නිසා ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා. නමුත් මේ සියල්ල රඳා පවතින්නේ ඉන්දියාව ගන්නා තීරණය මතයි" ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අමෙරිකානු ඩොලර් බිලියන 60ක ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග කුමක්ද යන්න සම්බන්ධයෙන් ද හින්දු පුවත්පත අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසු පැණයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම පසුගිය රජය සමයේදී චීනයට ලබාදුන් හම්බන්තොට වරාය යලි ලක් රජයට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බවත් එය දුෂ්කර කාර්‍යයක් බවයි මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. යම් කොන්දේසි සහිතව චීන රජය ලක් රජයේ ඉල්ලීමට ඉඩ දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් වන සාකච්ජා දිගින් දිගටම සිදුවන බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.
"ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කොට පළමුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සිදුකළ යුතු බවත් ඉන් අනතුරුව ගන්නා ක්‍රියා මාර්ගයන් කුමක්ද යන්න ගැන සාකච්ජා කළ යුතු බව අගමැතිවරයා සඳහන් කර සිටියා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් හිටපු ඇමතිවරයෙක් වන මහචාර්ය ජි.එල්. පීරිස් අධ්‍යයනය කරමින් සිටිනවා. පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පැහැදිලි බලයක් නැහැ. නමුත් ජනාධිපතිවරණයේදී රටේ ජනතාව ලබාදුන් ජන්ද ප්‍රතිශතය දෙස බලන විට ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කොට ජනාධිපතිවරයාට රට පාලනය කරමින් එය සංවර්ධනය කළ යුතු යැයි යන විශ්වාසය ඔවුන් තුල තිබෙන බවයි" අගමැතිවරයා කියා සිටියා.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා අතර මතභේදයක් ඇතිවෙනු ඇත්ද යන්න ගැන ද හින්දු පුවත්පත මෙහිදී නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ "එය තමන්ට හා තමාගේ සහෝදරයාට පමණක් හැසිරිවිමට හැකි වූ බවයි. එය වෙනත් ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක්ට කිසිදු අයුරකින් එකඟ නොවන සිදුවීමක් බවයි".