ගිය වසරේ (2011) වෙළෙඳ හිඟයට බලපෑ ආනයන වර්ධනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අන්තර් සහ අයෝජන භාණ්‌ඩ ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යැමයි. මේ සඳහා මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය ද ඉවහල් වූ ප්‍රධාන කරුණකි. ඉදිරියේදී ද ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බැවින් තවදුරටත් සංවර්ධන ආනයන ඉල්ලුම ඉහළ මට්‌ටමක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ ගැන මහ බැංකු වාර්තාවේ (2011) ඇති පහත සඳහනින් අපට පැහැදිලි වේ.
"මැදිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 ට වඩා වැඩි සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂා කරන බැවින්, මැදිකාලීනව ආනයන සහ අපනයන යන දෙඅංශයෙන්ම සාමාන්‍ය මට්‌ටමට වඩා වැඩි වර්ධන වේගයක් පවතී යෑයි අපේක්‍ෂා කෙරේ. එම නිසා අපේක්‍ෂිත ආයෝජන මට්‌ටම ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ආනයන ඉල්ලුම ඉහළ යනු ඇත. මේ අතර, අපනයනවල ඵලදායිතාව සහ විවිධාංගීකරණය පුළුල් වීමත් සමග අපනයනවල ඉහළ යැමක් සිදුවිය හැකි අතර, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. එබැවින්, වෙළෙඳ හිඟය අඩුකිරීම මත සම්පූර්ණයෙන්ම නොරැඳී අනෙකුත් ක්‍රියා මාර්ගවලින් ජංගම ගිණුමේ හිඟය අඩුකර ගැනීමට පියවර ගැනීම යෝග්‍ය වේ."
මෙහිදී වෙනත් ක්‍රියාමාර්ග ලෙස මහ බැංකුව කියන්නේ සේවා ගිණුමේ සහ ජංගම සංක්‍රාම ගිණුමේ අතිරික්‌තය මගින් පුළුල් වන වෙළෙඳ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ආවරණය කර ගැනීමයි. ගිය වසරේ (2011) අපේ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.7 ක් වූ අතර සේවා ගිණුමේ හා ජංගම සංක්‍රාම ගිණුමේ ශුද්ධ ලැබීම් වල එකතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක් විය. මේ අනුව දැනටමත් අපේ ඉහළ මට්‌ටමක පවතින වෙළෙඳ හිඟය පියවා ගැනීම සඳහා ශුද්ධ ජංගම සංක්‍රාමවලින් (ප්‍රධාන වශයෙන්ම විදේශ සේවා නියුක්‌තිකයන් ගේ ප්‍රේෂණ වලින්) සැලකිය යුතු දායකත්වයක් ලැබෙමින් පවතී. මේ අනුව මහ බැංකුව පවසන්නේ සේවා ගිණුම මගින් ජංගම ගිණුමේ ශේෂය මත ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඇති බැවින් ශ්‍රී ලංකාවේ මැදිකාලීන උපයාමාර්ගය වන්නේ මෙම සේවා අපනයනවලින් ලබාගත හැකි විශාල වාසිය අත්කර ගැනීම බවයි. වෙළෙඳ හිඟයක් ඇති වන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ අගයක් ගැනීම නිසාය. ජංගම ගිණුම සමන්විත වන්නේ භාණ්‌ඩ, සේවා හා සංක්‍රාම යන තුනෙන්ම සිදුවන විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් වලිනි. මේ නිසා වෙළෙඳ ගිණුමේ හිඟයක් තිබුණත් වෙළෙඳ ගිණුමත් සමන්විත වන ජංගම ගිණුමේ හිඟය හිතකර මට්‌ටමකට පත්කර ගැනීම රජයේ මැදිකාලීන උපාය මාර්ගය බව රජය කියයි.
එසේ වුවත් තවදුරටත් ආනයන වියදම් අඩු කරගැනීමේ ඉඩ ප්‍රස්‌ථා රැසක් තිබෙන බවද කිව යුතුය. මහාභාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කරන පරිදි සීනි සහ කිරි නිෂ්පාදන, වෛද්‍ය හා ඖෂධ නිෂ්පාදන, රෙදිපිළි හා නිමි ඇඳුම් සහ සිමෙන්ති යනාදිය ගෙන්වීම සඳහා අප වාර්ෂිකව විශාල මුදලක් වියදම් කරමින් සිටී. මේවා අපේ රටේම නිපදවීමට දේශීය ආයෝජන ඉඩ ප්‍රස්‌ථා ඇති කිරීමට රජය තීරණය කර ඇතැයිද ජයසුන්දර මහතා මේ ලියුම්කරුට කීවේය. ආනයන වියදම් අඩුකර ගන්නා අතරම අපනයන වර්ධනය කර ගැනීමද අත්‍යවශ්‍යය. එහෙත් පසුගිය වර්ෂවල අපනයනවල වර්ධනයක් තිබුණද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායම පහත වැටී තිබේ. වර්ෂ 2000 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායම සියයට 33 ක පමණ ඉහළ ප්‍රතිශතයකට ඉහළ ගිය අතර මහින්ද රාජපක්‍ෂ රජය බලයට පත්වූ 2005 වසරේදී මේ අනුපාතය සියයට 26 ක් පමණ විය.
2005 වසරෙන් පසු මේ දක්‌වා මේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තේය. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායම 2007 වසරේදී සියයට 24 දක්‌වාද, 2008 වසරේදී සියයට 20 දක්‌වාද පහත වැටී ඉකුත් 2011 වසර වන විට සියයට 17.8 ක් පමණ දක්‌වා පහත වැටී තිබේ.
ප්‍රශ්නය තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායම පහත වැටුනත්, ආනයන වියදම් දිගටම ඉහළ අගයක් ගෙන තිබීමයි. 2011 වසරේදී අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 17.8 ක් පමණ වන විට රටේ ආනයන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 34 ක් වැනි ඉහළ මට්‌ටමකට පත්ව තිබිණි. මේ තත්ත්වය දිගින් දිගටම වෙළෙඳ හිඟය වර්ධනය වීමටත් ඒ හරහා පසුගිය කාලය තුළ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පීඩනයක් නිර්මාණය වීමටත් හේතු විය. රුපියල පිරිහීමට හේතු වූයේද මේ තත්ත්වයයි. ආනයන වියදම් පාලනය කර ගන්නා අතරම රටේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සඳහා දිගුකාලීන තිරසාර ක්‍රියාමාර්ග ගැනීමද අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් වූ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන් වේ.
"අපනයන අංශය සියයට 22 ක සිත් ගන්නා සුළු වර්ධනයක් පෙන්නුවද දැනටමත් තහවුරු වී ඇති සාම්ප්‍රදායික වෙළෙඳපොළ වෙත ඇති පක්‌ෂපාතීත්වය හේතුවෙන් නැගී එන වෙළෙඳපොළ කරා අපනයන ව්‍යාප්තවීම තවමත් උදාසීන මට්‌ටමක පවතී. එබැවින් වේගයෙන් නැගී එන ආර්ථිකයන් ඉලක්‌ක කර ගනිමින් විශේෂිත නිෂ්පාදන බිහිකිරීමට අපනයන කරුවන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. එකතු වූ ඉහළ අගය සහිත ඇඟලුම්, තේ, රබර්, කුළුබඩු නිෂ්පාදන, තොරතුරු තාක්‌ෂණය හා මෘදුකාංග, යන්ත්‍ර හා උපකරණ, පිඟන් භාණ්‌ඩ හා මැණික් ස්‌වර්ණාභරණ ආදිය මගින් ඉහළ අපනයන වර්ධනයක් අත්කර ගැනීමේ හැකියාව පවතී. නව සහල් ප්‍රභේද ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අපනයන කිරීමෙන්ද ලෝක ආහාර සංවිධානය සමඟ සම්බන්ධ වී දිළිඳුකමෙන් පීඩාවට පත්වූ රටවලට සහාය වීමෙන්ද අතිරික්‌ත සහල් නිෂ්පාදනය අපනයනය කිරීමේ හැකියාව ඇති බව පෙනී යයි."
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/07/01/economic08.html