මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අප සමග පැවසුවේ මේ වසරේ ළඟාකර ගැනීමට ඉලක්ක කර තිබෙන සියයට 6.2 ක අයවැය හිඟය ළඟාකර ගැනීම මේ වනවිට ඉලක්ක වලට අනුව තිබෙන බවත් මුල් අර්ධයේදී රජයේ ආදායම් ඉක්මවා වියදම් විශාල ලෙස ඉහළ ගියත් බැංකු අංශයෙන් ලැබෙන ලාභ වැඩිවීම වැනි හේතු නිසා රජයේ ආදායම් ඉහළ නගිමින් තිබෙන බවයි.
කෙසේවෙතත්, මේ වසරේදී ආර්ථිකය යම් මන්දගාමීත්වයක් පෙන්වන නිසා ඉලක්කගත අයවැය හිඟය ළඟාකර ගැනීම අසීරු ඉලක්කයක් යැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ අඩුම ගණනේ සියයට 6.2 ක අයවැය හිඟයට ළඟාවීමට නොහැකි වුවහොත් සියයට 6.3 ක වැනි මට්ටමක් දක්වා හෝ ළඟාවීමට හැකි බවත් අයවැය හිඟය සියයට 0.1 කින් වැනි අගයකින් වැඩිවීම එතරම් ප්‍රශ්නයක් නොවන බවයි.
මේ වසරේ මුල් මාස හතර තුළදී 2012 වසරේ ඉලක්කගත අයවැය හිඟය දෙගුණ වී බදු ආදායමට සාපේක්ෂව වර්තන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබුණි.
රජයේ නිළ දත්ත වලට අනුව මේ වසරේ අප්‍රේල් දක්වා රාජ්‍ය ආදායම සියයට 7.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 305.5 ක්වී තිබෙන අතර වර්තන වියදම් සියයට 23.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 445.3 ක්වී ඇත.
මේ කාලයේදී පොලී වියදම් රුපියල් බිලියන 142.2 ක සිට රුපියල් බිලියන 173.6 ත් දක්වා වැඩිවී තිබෙන අතර පොහොර සහනාධාර වියදම දෙගුණ වී රුපියල් බිලියන 13.0 ක්වී තිබේ.
බදු ආදායම් වැඩිවී ඇත්තේ සියයට 10.7 කිනි. නිළ දත්ත අනාවරණය කරන ආකාරයට 2012 අප්‍රේල් දක්වා බදු ආදායම් ලෙස රුපියල් බිලියන 276.4 ක මුදලක් උපයාගෙන තිබුණත් බදු නොවන ආදායම් සියයට 17.5 කින් අඩුවී උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 29.0 කි.
මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී ආදායම් හිඟය හෙවත් සම්පූර්ණ ආදායම හා වර්තන වියදම අතර පරතරය සියයට 86 කින් වර්ධනය වී තිබේ. එම ආදායම් හිඟය රුපියල් බිලියන 139. 8 ක් වන අතර එය පුරෝකතනය කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ප්‍රමාණයක් වෙයි.
2012 අයවැය මගින් පුරෝකතනය කර තිබෙන්නේ බදු ආදායම් ලෙස ට්‍රිලියනයක මුදලක් උපයා ගැනීම වන අතර එය ගිය වසරේ බදු ආදායමට වඩා සියයට 23.6 ක වැඩි අගයකි.
මීට අමතරව, ශුද්ධ ප්‍රාග්ධන වියදම්ද මේ කාලයේදී සියයට 46 කින් වර්ධනය වී රුපියල් බිලියන 143.8 ක් වැයකර තිබෙන අතර මේ නිසා සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 285.8 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.81 ක්වී තිබේ.
මේ සඳහා දීමනා ඇතුළත්ව නොමැති අතර දීමනා ප්‍රමාණය රුපියල් බිලියන 2.0 ක් පමණක් වෙයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2069053589