වාණිජ බැංකුවල පොලිය තීරණය කිරීමට බලපාන මෙම ප්‍රතිපත්තිමය පොලී අනුපාතය කොටස් දෙකකින් යුක්ත වන අතර ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය හා ප්‍රති විකිණීමේ පොලී අනුපාතය එම කොටස් දෙකයි.
පිට පිටම හතරවන මාසයටත් මහ බැංකුව පවසා තිබෙන්නේ සිය ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.75 ක් ලෙසත් ප්‍රති විකිණීමේ පොලී අනුපාතය සියයට 9.75 ක් ලෙසත් අගෝස්තු මාසයේදීත් නොවෙනස්ව තබා ගන්නා බවයි.
මේ නිසා, වාණිජ බැංකුවල පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමට අනුබලයක් ලබා නොදෙන අතර මහ බැංකුව කල්පනා කර තිබෙන්නේ මේ වනවිට ණය වර්ධනය තවදුරටත් පහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇතිවී නොමැති බවයි.
පසුගිය කාලයේදී පොලී අනුපාත පහළ මට්ටමක තිබියදී විශාල ලෙස වාණිජ බැංකු වලින් ණය ගලාගිය අතර මේ නිසා විදේශ විනිමය මත පීඩනයක් ඇතිවුණි.
එවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව පොලී අනුපාත වැඩිකර ණය වර්ධනය අඩුකිරීම වෙනුවට කළේ සංචිත ඩොලර් විකුණමින් කෘත්‍රිම ලෙස රුපියල ආරක්ෂා කර ගැනීමයි.
කෙසේවෙතත්, දිගින් දිගටම සංචිත දියවීම යාම නිසා එල්ලවූ විවේචන හමුවේ අවසානයේදී මහ බැංකුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදුන් අතර මහ බැංකු පොලී අනුපාත වැඩි කරමින් ණය වර්ධනය පාලනය කිරීමට කටයුතු කළේ විදේශ විනිමය මත ඇතිවන පීඩනය පාලනය කිරීම සඳහායි.
පසුගිය කාලයේදී දිගින් දිගටම අවප්‍රමාණය වූ රුපියල මෑත කාලයේදී යළිත් ශක්තිමත් වන ප්‍රවණතාවයක් දකින්නට ලැබුණේ මහ බැංකුව විසින් සිය භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් කොටසක් විකිණීම සඳහා පෙළඹීමත් සමගයි.
මහ බැංකුව අගොස්තු මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙන්නේ 2011 දෙවන අර්ධයේ මෙරට වාණිජ බැංකුවල ණය වර්ධනය සියයට 18.1 ක්වූ බවත් එය මේ වසරේ පළමුවන අර්ධයේදී සියයට 11.4 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
ඇමරිකානු හා යුරෝපීය ආර්ථිකයින් යථා තත්ත්වයට පත්වීම මන්දගාමීවීම නිසා ගෝලීය ආර්ථික ප්‍රවණතාවය සුභදායක නොවන නමුත් එය මෙරට ආර්ථිකයට කරන බලපෑම ඉතාමත් සුළු එකක් බව සඳහන්ය.
මේ අතර, බැංකුව පවසා තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙන ශුද්ධ විදේශ ආයෝජන හා රජයේ සුරැකුම්පත්වල සිදුකරන ශුද්ධ විදේශ ආයෝජනවල සැලකිය යුතු වර්ධනයක් සිදුව තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1227824959