අධිකරණ නියෝගය ආණ්‌ඩුව ඉවත දමයි
අජිත් අලහකෝන්
අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කර ඇති නියෝගය ප්‍රතික්‌ෂේප කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.
විශේෂ කාරක සභා වාර්තාව ක්‍රියාත්මක කිරීම වළක්‌වාලන ලෙස ඉල්ලා අගවිනිසුරුවරිය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා කථානායකවරයාට සහ විශේෂ කාරක සභාවට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පෙරේදා (21 දා) නියෝගය කර තිබිණි.
අභියාචනාධිකරණයේ මෙම නියෝගය පාර්ලිමේන්තු වරප්රසාද පනත සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අභියෝගයට ලක් කරන්නක් බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය.
අධිකරණයේ කටයුතු අධිකරණය මගින් සහ ව්‍යවස්‌ථාදායකයේ කටයුතු පාර්ලිමේන්තුව මගින් පමණක් ක්‍රියාත්මක කරවිය යුතු බවට අනුර බණ්‌ඩාරනායක මහතා කථානායකවරයා ලෙස මීට පෙර තීන්දුවක් ලබා දී ඇතැයි ද එම තීන්දුව එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පිළිගත් බව ද චන්දිම වීරක්‌කොඩි මහතා කීවේය.
එසේ තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දිනෙක මේ හා සමානවම නොතිසි නිකුත් කිරීමක් කර තිබූ බවත් වීරක්‌කොඩි මහතා අනුර බණ්‌ඩාරනායක මහතාගේ තීන්දුවට සමගාමී තීන්දුවක් වර්තමාන කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් ද ලබාදුන් බව කීවේය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ නවවැනි වගන්තිය යටතේ සියලුම අධිකරණ මෙම තීන්දුව පිළිබඳ දැනුවත් විය යුතු බව ද ඒ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය නොවන බව ද කී නියෝජ්‍ය කථානායකවරයා කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් ලබා දී තිබෙන එම තීන්දුව අභියාචනාධිකරණයට ද වලංගු කළ බව කීය.
කථානායකවරයාගේ තීරණය ප්‍රකාරව සහ පෙර සිට පැවැති සම්ප්‍රදාය අනුව ඉහත කී විශේෂ කාරක සභාව පමණක් නොව පාර්ලිමේන්තුවේ සියලුම කමිටු පාර්ලිමේන්තුවේම කොටසක් සේ පිළිගැනෙන බව ද කීය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කටයුතු සම්බන්ධයෙන් කිසිදු තෙවන පාර්ශ්වයකට මැදිහත්විය නොහැකි බව ද එම නිසා අභියාචනාධිකරණයේ ඉල්ලීම පිළිගත යුතු නැතැයි ද නියෝජ්‍ය කථානායකවරයා පැවැසීය.
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය විසින් කතානායක වරයාගෙන් සහ විශේෂ කාරක සභාවෙන් කළ ඉල්ලීම පිළිබඳ විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයකින් විමසා සිටියදී ඔවුන් ප්‍රකාශ කළේ තම මතය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.
http://www.divaina.com/2012/12/23/news01.html