බංකොලොත්වී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද සන්නාම තානාපති ධූරයක් ඉසිලූ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම ඊයේ කොළඹ කොටස් වෙළඳ පොළට කළ දැනුම් දීම හමුවේ සමාගමේ කොටසක් අද සියයට 20 කින් කඩා වැටුණි.
මේ අනුව, ඊයේ කොටසක මිල ශත 10 කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී කොටසක මිල ශත 40 ක් විය. සමාගමට පසුගිය කාලයේදී මුහුණ දීමට සිදුවූ ක්‍රියාදාමය පිළිබඳව සමාගම විසින් ඊයේ කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණු අතර එහිදී පවසා තිබුණේ 2012 දෙසැම්බර් 24 වනදා එහි ප්‍රධාන විධායකවරයා ඉවත් කළ පසුව ලක්ෂ්මන් රූපසිංහ මහතාව වැඩ බලන ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත්කළ බවයි.
කළමනාකරණය වෙනස්වීම නිසා බොහෝ තැන්පතු කරුවන් සිය තැන්පතු ඉල්ලා සිටි බවත් සමාගම තුළට පැමිණි මුදල් වලට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පතු කරුවන් ඉල්ලා සිටීම නිසා මුදල් ගෙවීමේ ගැටලුවක් මතුවූ බවත් සමාගම කියා ඇත. මේ අතර, සමාගමේ නව ආයෝජකයින් විසින් කියා ඇත්තේ ඔවුන් අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණෙන තුරු සමාගමේ කිසිදු වත්කමක් විකුණා දැමීම හෝ අරමුදල් රැස් කිරීම නොකරන ලෙසයි.
මෙවැනි තත්ත්වයක් තුළ සමාගමේ චෙක්පත් කිහිපයක්ම අගරු වූ බවත් 2013 මැයි 02 වනදා නව ආයෝජකයා විසින් සමාගමේ කළමනාකාරීත්වය භාරගත් බවත් සඳහන්ය. මෙහිදී, ආයෝජකයා පොරොන්දු වී තිබෙන්නේ සමාගමේ සියළුම වගකීම් සහ හිඟ පොලී මුදල් පියවා දමන නමුත් පොරොන්දු වූ පරිදි එවැනි කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව සමාගම පවසා තිබේ.
පසුව මහ බැංකුව විසින් මෙම සමාගමේ කළමනාකාරීත්වය 2013 ජූලි 01 වනදා පීපල්ස් ලීසිං සමාගමට පවරා ඇත.
මේ අතර, සමාගම විසින් ලබාදුන් චෙක්පත් අගරු වූ තැන්පතු කරුවන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුව එය අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම විභාගය 2013 සැප්තැම්බර් 02 වනදා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී සමාගමේ නීතීඥයින් විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන බැවින් එම තැන්පතු ලබාදිය නොහැකි බවයි.
කෙසේවෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම සමාගම බංකොලොත්වීම නිසා තැන්පතු කරුවන් 6000 ක් පමණ අසරණ වී තිබෙන බවත් සමාගමේ තැන්පතු කර තිබෙන මුදල රුපියල් බිලියන 3.4 ක් පමණ වන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=355329706