මෙහිදී, ඇඟලුම් අපනයන සියයට 27 කින් ඩොලර් මිලියන 386 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට හේතුව වී තිබෙන්නේ යුරෝපීය හා ඇමරිකානු වෙළඳ පොළවල් යථා තත්ත්වයට පත්වෙමින් තිබීමයි.
මේ අනුව, ඇමරිකාවට සිදුකළ ඇඟලුම් අපනයන සියයට 30.7 කින් වර්ධනය වී තිබෙන අතර යුරෝපයට සිදුකළ අපනයන සියයට 27.7 කින් වර්ධනය වී තිබේ. සැප්තැම්බර් මාසයේදී සිදුකළ රබර් අපනයන සියයට 28 කින් ඩොලර් මිලියන 73 ක් දක්වා වැඩි වෙද්දී, ආහාර සහ පාන අපනයනය සියයට 46 කින් ඩොලර් මිලියන 18.8 ක් දක්වා වර්ධනය වී තිබේ.
ආනයන සියයට 22 කින් ඩොලර් බිලියන 1.6 ක් දක්වා වැඩිවී තිබේ. පාරිභෝගික භාණ්ඩ ආනයන සියයට 13.1 කින් ඩොලර් මිලියන 233 ක් දක්වාද, අන්තර් භාණ්ඩ ආනයන සියයට 26.7 කින් ඩොලර් බිලියනයක් දක්වාද වැඩිවී ඇත.
ඛනිජ තෙල් ආනයන සියයට 61 කින් ඩොලර් මිලියන 516 ක් දක්වා වර්ධනය වෙද්දී රෙදිපිළි ආනයන සියයට 03 කින් අඩුවී ඩොලර් මිලියන 174 ක්වී තිබේ. ආයෝජන භාණ්ඩ ආනයන සියයට 19 කින් වර්ධනය වී ඩොලර් මිලියන 335 ක්වී ඇත.
මේ අනුව, සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය සියයට 41.1 කින් වර්ධනය වී ඩොලර් මිලියන 723 ක් වෙද්දී සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී අපනයන සියයට 0.3 කින් වර්ධනය වී තිබේ.
එහි වටිනාකම ඩොලර් බිලියන 7.3 කි. මෙම මාස නමය තුළදී ආනයන සියයට 0.9 කින් අඩුවී එහි වටිනාකම ඩොලර් බිලියන 14.0 ක්වී ඇත.
සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී වෙළඳ හිඟය සියයට 2.1 කින් අඩුවී ඩොලර් බිලියන 6.7 ක්වී තිබීම කැපී පෙනේ.
Reference=vimasuma.com