දැඩි නියං තත්ත්වය හේතුවෙන් අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, වව්නියාව සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කවල ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය මැයි මස මුල් සතියේ සිට මෙම ප‍්‍රදේශවලට වර්ෂාපතනය ලැබී නොමැති බවයි. මේ හේතුවෙන් ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණපා සිටිනවා. එමෙන්ම තමන්ගේ වගාවන් ද විනාශ වී ඇති බවයි එම දිස්ත‍්‍රික්කවල ජනතාව හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මොනරාගල දිස්ත‍්‍රික්කයේ - වැල්ලවාය - ඇතිමලේ - බුත්තල - බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප‍්‍රදේශවලට නියඟයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.
වව්නියාව දිස්ත‍්‍රික්කයේ උලූක්කුලම - වීරපුරම් - අලගල්ල - මඩුකන්ද ආදී ප‍්‍රදේශ රැසකට නියඟයෙන් දැඩි ලෙස පීඩා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ තමන් යටතේ පවතින පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය වැනි විශාල ප‍්‍රමාණයේ ජලාශ 72 ජල මට්ටම මේ වනවිට සියයට 20 කට වඩා අඩුවී ඇති බවයි. එමෙන්ම, කුඩා ජලාශ 250 න් ජලාශ කිහිපයක් සිඳී ගොස් ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස කියා සිටියා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ මෙම දිස්ත‍්‍රික්කවල ජනතාවට නොමිලේ පානීය ජලය ලබාදීම සඳහා තමන් සතුව ඇති ජල බවුසර් අදාළ දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට මේ වනවිටත් භාරදී ඇති බවයි.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියේ මෙම දිස්ත‍්‍රික්කවලට තවත් සති දෙකකින් පසු වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
hirunews.lk