දේශපාලන ඉතිහාසය ගත හොත් අපට වැරුදුණු තැන් ගණනාවක් තිබේ. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් ආර්ථික කලාපවලට රටේ දේශපාලකයෝ විරුද්ධ වූහ. ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් වැඩසටහනට දේශපාලකයෝ විවේචන ඉදිරිපත් කළහ. එහෙත් අද මේ රටේ ආර්ථිකයට වැඩිම ශක්තිය හිමි කර දෙන්නේ ඉහත වැඩසටහන්ය. නිදහස් ආර්ථික කලාප නිසා විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. ඇඟලුම් කම්හල් වැඩසටහන නිසා රටේ තරුණ පරපුර ජීවත් වෙති. ඒ හැරෙන්නට රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන මාර්ගයක් ලෙස ද එය පවතී. ලෝකය සමඟ බද්ධ වන අලුත් ආර්ථික වැඩසටහන්වලට විරුද්ධ වීම මෝඩකමක් බව තේරුම් ගැනීමට එම උදාහරණ දෙක ප්‍රමාණවත්ය.
ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගත් ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර්, නිතර අවධාරණය කළ වාක්‍යයක් තිබේ. එනම් රටවල් තම-තමන්ට ඔරොත්තු දෙන හා ලෝකයට විවෘත වන ව්‍යාපෘති ආරම්භකොට පවත්වාගෙන යා යුතු බවය. ඔහු සඳහන් කරන තවත් යුගල පදයක් වන්නේ ආර්ථික අඛණ්ඩතාව යන්නය. ඉන් අදහස් වන්නේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවය. නිදහස් වෙළෙඳ කලාප අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. ඇඟලුම් කම්හල් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. ඒවායෙහි ප්‍රතිඵල ලැබෙන්නේ එවිටය. ශ්‍රී ලංකාවේ තට්ටුමාරු දේශපාලන ක්‍රමයක් පවතින බැවින් ඉහත වැඩසටහන්වලට වරින්වර බාධා එල්ල වී ඇත. එසේ නොවන්නට අපේ ආර්ථිකය මීට වඩා දියුණු තැනක පවතිනු ඇත.
ලෝකය පුරා වරාය නගර පන්දහස් ගණනක් පවතී. ඉන්දියාවේ පමණක් වරාය නගර තුන්සිය ගණනක් ඇත. මේ සෑම කලාපයක්ම හඳුන්වන්නේ නිදහස් ආර්ථික කලාප හැටියටය. ඒවායෙහි විදේශ ගනුදෙනු හා විදේශ ව්‍යාපාර යහමින් පවතින අතර, විශාල පිරිසකට රැකියා අවස්ථා උදා වෙයි. විදේශ විනිමය ඉපයීම සඳහා ද තරුණ පරපුරට නව රැකියා හිමිකර දීම සඳහා ද වරාය නගර භාවිතා වෙයි. මේ හැරෙන්නට අන්තර්ජාතික සහයෝගිතාව ගොඩනැඟීම සඳහා ද වරාය නගර ව්‍යාපෘති භාවිත වන බව පෙනෙයි. චීනය හා කැනඩාව අතර ඉතා හොඳ සබඳතා පවතී. කැනඩාවේ වෑන්කූවර් වරාය නගරය තුළ ‘චයිනා ටවුන්‘ නමින් විශේෂ ආර්ථික කලාපයක් ද තිබේ. කැනඩාවේ කිසිවකු ඊට විරුද්ධ නැත.
කිසිදු රාජ්‍යයකට හුදෙකලාවේ දියුණු විය හැකි මාර්ග නැත. ලෝකය ඉදිරියට යන්නේ සාමූහික ගනුදෙනු මතය. මෙය හොඳින්ම වටහා ගත් රාජ්‍යය චීනය යැයි කිව හැකිය. චීනය ස්වයංපෝෂිත දේශීය ආර්ථිකය යන්න අතහැර බොහෝ කාලයක් ගත වී ඇත. ලෝකය සමඟ ගනුදෙනු කිරීම හා ව්‍යාපාර පවත්වා ගැනීම චීන ආර්ථිකයේ විශේෂ ලක්ෂණයකි. නූතන චීනය පළමුව ස්වකීය ගනුදෙනු ආරම්භ කළේ අප්‍රිකාව සමඟය. දෙවනුව යුරෝපය සමඟය. තෙවනුව ආසියාවේ කුඩා රාජ්‍යයන් සමඟය. චීනය අද මුළු ලෝකය සමඟම ගනුදෙනු කරන අතර, අමෙරිකාව පරදා ආර්ථික අතින් ඉදිරියට යමින් සිටී. මේ වන විටත් ලෝකයේ නිල නොවන ආර්ථික බලවතා චීනයයි. කොරෝනා වසංගතය තුළ පවා ආර්ථිකය පවත්වා ගැනීමට සමත් වූ රාජ්‍යය චීනය වෙයි.
චීනයෙන් අපට ගත හැකි ආධාර උපකාර මෙන්ම ආදර්ශ ගණනාවක් ද තිබේ. එයින් වටිනාම ආදර්ශය වන්නේ විවේචනවලට කන් නොදී අඛණ්ඩව වැඩ කර ගෙන යෑමය. කොවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් අමෙරිකාව චෝදනා ගොනු කළේ චීනය වෙතටය. චීනය ලෝක වසංගතයක් ආරම්භ කළ බව අමෙරිකාව කියා සිටියේය. චීනය ඊට උත්තර දෙනු වෙනුවට කොරෝනා පාලනය කළ හැකි උපායමාර්ග සොයාගෙන ගියේය. ඒ අතර ආර්ථිකය යථා තත්ත්වයෙන් පවත්වාගෙන ගියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයට අනුව කොවිඩ් වයිරසය චීනයට කඩා වැදී ඇත්තේ විදේශයකින්ය. ලෝක ආර්ථික සංවිධානවල පුරෝකථනවලට අනුව වසංගතය තුළ පවා ආර්ථිකය හොඳින් නඩත්තු කරන රට චීනය වෙයි.
විපක්ෂය චීන භීතිකාවක් මහජනයා අතර ව්‍යාප්ත කරමින් සිටී. මෙහි පෙරමුණ ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණ 1988/89 කාලයේ ඉන්දියානු භීතිකාවක් ගොඩනැඟීමට උත්සාහ කළේය. ඉන්දීය ආයෝජන හා ඉන්දීය නිෂ්පාදන රටට අවශ්‍ය නැතැයි හඬක් ගෙන ගියේය. වරෙක ඔවුන්ගේ අදහස වූයේ ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවලට භූමිතෙල් දමා ඒවා විනාශ කළ යුතු බවය. ජ.වි.පෙ තරුණයෝ එසේ කළහ. එහෙත් ශ්‍රී ලංකාව පරිප්පු ගෙන්වන ප්‍රධාන රට තුර්කිය මිස ඉන්දියාව නොවේ. අවසන් ලෙස ජ.වි.පෙ කාඩර්වරු තුර්කි පරිප්පුවලට භූමිතෙල් දමා ගිනි තබා ඉන්දියාවට විරෝධය දැක්වූහ. රටේ දේශපාලන පක්ෂවල පුහු විරෝධතා මෙයින් වටහා ගත හැකිය.
http://www.dinamina.lk/2021/05/22/කතුවැකිය/122621/දකුණු-ආසියාවේ-ජගත්-මුවදොර