ඇමරිකානු තරුණයන් පාරට බැසීම පිළිබඳව බටහිරයන්ට අර්ථකතනයක් තිබේ. ඔවුන් කියන්නේ ධනවාදයේ උපරිම සීමාව පසුකළ විශාල සමාගම් ස්‌වල්පයක හැසිරීම තරුණයන්ට බලපා ඇති බවය. වෝල් විදියට කඩාවැදුණ 100 ක් පමණ වූ උද්ඝෝෂකයන්ගේ අරමුණ වූයේ වෝල් වීදියේ ඇමරිකානු කොටස් වෙළෙඳපොළත් විශාල සමාගම් සමූහයත් තාවකාලිකව අත්පත් කර ගැනීමය.
මේ උද්ඝෝෂණයට දැන් නමකුත් තිබේ. ඒ වූ කලී “වෝල් වීදිය අත්පත් කර ගැනීමේ ව්‍යාපාරය” යන්නය. තරුණ රැල වෝල් වීදියට සම්බන්ධ වන අතුරු මාර්ග වසා දමමින් කළ කලබලය නිසා 80 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සැප්තැම්බර් 24 වනදාය. ඔක්‌තෝබර් 5 වනදා වන විට උද්ඝෝෂකයන් 700 ක් පොලිස් කූඩුවල සිsටියහ. මේ වන විට එතෙක් 1000 ක්‌ව තිබූ උද්ඝෝෂකයන් ගණන 15000 ක් වූ අතර ඇමරිකන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්, ශිෂ්‍යයන් සහ රැකියා විරහිතයන් ඒ අතර සිටියහ. ඔක්‌තෝබර් මැද වන විට ඇමරිකානු ප්‍රාන්ත 45 ක ද ප්‍රධාන නගර 70 ක ද උද්ඝෝෂණ පැතිර ගොස් තිබිණ. අද වන විට ඇමරිකාවට සමගාමීව යුරෝපා රටවල් 90 කත් ප්‍රධාන නගර 1000 කත් උද්ඝෝෂණ පවතී.
ඇමරිකානු උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ඇමරිකන් කොංග්‍රස් මණ්‌ඩලයට පත්ව එන මහජන නියෝජිතයන් මුදලට ගැනීම සඳහා විශාල ව්‍යාපාරික සමාගම් ගෙනයන චර්යා විරෝධී ව්‍යාපාරය නවත්වනු පිණිස ජනාධිපති කාර්ය සාධක කොමිසමක් පත්කරවා ගැනීමය. ඇමරිකානු මැතිවරණවලදී ධනවත් සමාගම් කරන මුදල් පරිත්‍යාග ක්‍රමයෙන් ඉහළ නඟිමින් පවතී. ආණ්‌ඩුවක් බලයට පත්වූ විට ඒ ආණ්‌ඩුව පෙර කී ත්‍යාගශීලී ධනවතුන්ගේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්වෙයි. ඒ අනුව පෙර කී සමාගම්වලට විශාල බැංකු ණය දීමටත් ඒවා බංකොළොත් වන විට මුදල් ආධාර සැපයීමත් ආණ්‌ඩුව කළ යුතු වෙයි. ලෝක බැංකුවේ හිටපු උප සභාපති වූද නොබෙල් සම්මානලාභියකු වුද ජෝෂප් ස්‌ටිග්ලිස්‌ටි කියන පරිදි සියයට එකක් පමණ වූ ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු වෙනුවෙන් කැපවුණ ආණ්‌ඩුවක් තිබේද එය සියයට එකක් විසින් සියයට එකක් සඳහා පවත්වාගෙන යන ආණ්‌ඩුවක්. ආණ්‌ඩුවෙන් අතිමහත් වාසි ලබන මේ සුළුතර පිරිස බහුතර 99% ටම අයිති විය යුතු සම්පත් සූරාකයි. මේ දූෂිත තත්ත්වය නැති කිරීම සඳහා ඇමරිකන් තරුණයන් වීථි බැස්‌ම ගැන ජෝෂප් ස්‌ටිග්ලිස්‌ට් ඉතා කැමැතිය. එමකුදු නොව සල්මන් රුෂ්ඩි ද ප්‍රකෝටිපති ඇමරිකානුවන් වන වොරන් බැෆේ සහ ජෝර්ඡ් සොරෝස් ද තරුණ නැගිටීමට පක්‍ෂය. වෙරෙන් බැෆේ යනු අමුතුම ආකාරයේ අදහස් ඇති ප්‍රකෝටිපතියෙකි. තමන් වැනි විශාල ධනවතුන්ගෙන් ඇමරිකන් ආණ්‌ඩුව අය කරන බදු මුදල තම ආදායම්වල හැටියට ඉතා කුඩා බවත් ඇමරිකන් මධ්‍යම පාන්තිකයන්ගෙන් අයකරන බදු මුදල ආදායම් හැටියට ඉතා විශාල බවත් ඔහු පසුගිය දිනක කීය.
උද්ඝෝෂකයන්ගේ ලොකුම ඉලක්‌කය වී ඇත්තේ ජනාධිපති ඔබාමාය. ඔහු පක්‍ෂග්‍රාහී ධනවාදී ඉත්තකු බව තරුණයන්ගේ මතයයි. ඒ කරුණ සනාථ කරන උදාහරණය මෙසේය සූර්ය බලයෙන් විදුලිය උපදවන සොලිඩ්‍රා නමැති සමාගමක් ඇමරිකාවේ ඇත. මේ සමාගම බංකොලොත් වෙමින් සිටින බව දැන දැනම ඇමරිකන් ආණ්‌ඩුව ඩොලර් දසලක්‍ෂ 600 ක ණයක් සොලිඩ්‍රා සමාගමට දුන්නේය. ඒ ණය දෙන ලෙස ආණ්‌ඩුවට බලකර තිබුණේ ඔබාමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මුදල් එකතු කරන පදනමක් මගිනි. එහි තේරුම සොල්ඩා සමාගම ඔබාමාගේ මැතිවරණ අරමුදලට මුදල් දෙන්නට ඇති බවය. මේ අතර පසුගියදා ඇමරිකාවේ බැංකු කිහිපයක් බංකොලොත් වූ විට ඒවා නැවත ගොඩ දැමීම සඳහා ජනතාවගේ බදු ආදායම් අරමුදලෙන් ඩොලර් ටි්‍රලියනයක් දීමට ඇමරිකන් ආණ්‌ඩුව කටයුතු කළේය. එසේ දීම ගැන ද උද්ඝෝෂකයෝ විරුද්ධය. ඇමරිකානු ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ ගෝල්ඩ්මන් සැෂ් නමැති මූල්‍ය සමාගම ආණ්‌ඩුවෙන් ලබාගත් සහන මුදල්වලින් ඩොලර් බිලියන 13 ක් යොදා පසුගියදා තම කාර්ය කාර්ය මණ්‌ඩලයට බෝනස් දුන්නේය. බදු ගෙවන්නන්ගේ මුදල් ආණ්‌ඩුවෙන් ලබාගත් බංකොලොත් සමාගම් මේ ආකාරයෙන් බෝනස් ගෙවීම සදාචාර විරෝධී බව ඔබාමා ද පිළිගෙන තිබේ. (ප්‍රසාද දීමනා හෙවත් බෝනස් යනු සමාගමක වාර්ෂික ලාභයෙන් 5% ක් සේවකයන් අතර බෙදා හැරීමය.)
- අනුර සොලමන්ස්
http://lankacnews.com/sinhala/foreign-news/34446/