ඒ අතරේ ආදායම් පරතරය වෙනස් නොවීම, ණයබර ඉහළ යාම, ආණ්ඩුවේ ආදායම සාපේක්ෂව පහළ වැටීම, පාරිසරික ව්‍යසනයන්හි බලපෑම ආර්ථීකයට දැනීම, ජනගහණ ප්රතිලාභ ශ්‍රම බලකායට ලැබුණත් එය ආර්ථීකයට බරක් වෙමින් තිබීම වැනි අසුභවාදී ප්රවණතාද ඇතිවී තිබෙන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරසිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(07) උදෑසන බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ පැවති රටේ මැදි ආදායම් උගුල ජය ගෙන අධි ආදායම් තත්ත්වයට පත්වීම වෙනුවෙන් සම්පාදිත ජාතික තාක්ෂණ හා පර්යේෂණ නව ආයෝජන සැළැස්ම ඉදිරිපත් කරමිනි.
මැදි ආදායම් රටක් යනු කුමක්දැයි යන්නට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර විවිධ අර්ථ දැක්වීම් තිබුණද අප මෙහිදී ලෝක බැංකු අර්ථ දැක්වීම එනම්, ඒක පුද්ගල ආදායම ඩොලර් 1045 - 12746 අතර ප්‍රමාණය සලකා බලනු ලබයි. අද ලෝකයේ රටවල් 33 ක් අඩු ආදායම් රටවල් ලෙසත්, රටවල් 50 ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත්, (ශ්‍රී ලංකාව අයත් වන්නේ එකී ඛාණ්ඩයටය) රටවල් 51 ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, රටවල් 63 ක් ඉහළ ආදායම් රටවල් ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන හඳුනාගෙන තිබේ. බොහෝ රටවල් දැන් සිය ආර්ථීකයන් විවෘත කිරීමත්, නිෂ්පාදන සාධක ලාභ කිරීමත්, එනම් ලාභ ශ්‍රමය, බලශක්තිය, සම්පත් හා ප්රාග්ධනය නිසා අධික තරඟකාරීත්වයක් ලොව පුරා ඇතිවී තිඛෙන අතර ආර්ථීක සංවර්ධනයේ ඊළඟ උපාය මාර්ග වනුයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා නවෝත්පාදනයයි. ගෝලීය තරඟකාරීත්වය නිසාත් අභ්‍යන්තර තත්ත්වයන් නිසාත් ශ්‍රී ලංකාව දැන් සිය ආර්ථීක සංවර්ධන උපාය මාර්ගය වෙනස් කර ගැනීමකට කාලය උදාකරගෙන තිඛෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
අපගේ ආර්ථීක පුරෝකතන අනුව 2020 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 7000 ත් 2040 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000 ත් ළඟාකර ගැනීමට නියමිතය. එනම් අධි ආදායම් රටක්වීමට අපේක්ෂිත කරන්නේ 2040 දීය. මේ සඳහා අපි අඛණ්ඩව 8% ක ආර්ථීක වර්ධනයක් හා 3% ක ප්‍රමාණයේ රුපියල අවප්‍රමාණය වීමේ සීඝ්‍රතාවයක් පවත්වා ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ආර්ථීක හැකියාව පිළිගත් මාදිලි කීපයකින් පරීක්ෂාකර පෙන්වා දී ඇත්තේ අපේ සාමාන්‍ය හැකියාව වසරකට 6.7% ක් වර්ධන වේගයක් බවය. පරිසර සාධකවල ආර්ථීක බලපෑම අනුව බලන කල 2050 වන විට ද.දේ.නි. 1.2% කින්ද 2100 වන විට ද.දේ.නි. 6.5% කින්ද කා දමන්නට ගෝලීය හා ජාතික පරිසර විනාශයන්ට හැකිබව අනතුරු අඟවා තිබේ.
එමෙන්ම ජනතාවගේ ශුද්ධ ආදායමට(3%) වඩා වැඩි වේගයකින් (6.7%) ශුද්ධ වියදම වැඩි වී තිබේ. (2006 - 12) ආදායම් පරතරය එලෙසම වන අතර පහළම ආදායම් ලබන 20 % ක් ජාතික ආදායමෙන් 4 % ක් ලබද්දී ඉහළම ආදායම් ලබන පිරිස 50% ක් ලබයි. ආදායම් දුගීකම අඩුවුවත් ආහාර සුරක්ෂිතභාවය, ආර්ථීක අර්බුදවලට, පාරිසරික අර්බුදවලට මුහුණ දීමේ හැකියාව අතින් දුගී ජන කණ්ඩායම් තවමත් සුරක්ෂිත නොමැත. විරැකියාව අඩුවූවත් (3.7%) උගත් තරුණ පිරිස අතර විරැකියාව ඉහළ ප්‍රතිශතයක් වන අතර වයස 20 - 24 අතර 20% ක් හා උසස් පෙළ සමතුන් අතර එය 10 %ක් වේ.
මේ නිසා ජාතික ආදායම් වැඩිකර ගැනීම, සමාජ අසහනයන් දුරුකරලීම, පරිසර සංරක්ෂණය හා නැවත ගොඩනැංවීම සඳහා නව උපාය මාර්ගයක් අවශ්‍ය වේ. දැනුම් ආර්ථීකයක් ගොඩනැංවීම සඳහා නවෝත්පාදනය ඉලක්ක කරගත් තාක්ෂණ හා පර්යේෂණ ආයෝජන සැළැස්මක් අප ඉදිරිපත් කරන්නේ ඒ සඳහාය. එහිදී අප ජලය, ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, නිවාස, පරිසරය, බලශක්තිය, ඇඟලූම්, ඛනිජ ද්‍රව්‍ය, සන්නිවේදනය, මූලික විද්‍යාවන් ආදී ලෙස ප්‍රමුඛතා ක්ෂේත්‍ර 10 ක් හඳුනාගෙන තිබේ. එමෙන්ම ප්‍රතිපත්ති සැකසීම, පර්යේෂණ නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ආදී ලෙස මැදිහත්වීම් 10 ක් ද හඳුනාගෙන ඇත.
දළ ජාතික ආදායමෙන් 0.2% සිට 1.0% ක් දක්වා පර්යේෂණ සඳහා විධිමත්ව ආයෝජනය කළහොත් අපේ ආර්ථීක සමාජීය පාරිසරික තිරසර සංවර්ධනය ළගාකරගත හැකිය. නවෝත්පාදනය පෙණ බුබුලක් නොව මහෝඝයක් වන අතර තිරසාර රටකට එමඟින් පියනැගීමට කටුයුතු කළ හැකිබවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
http://www.randora.lk/