නොවැම්බර් 30 දින හෙළ උරුමය සමග සිරිසේන මහතා අත්සන් තැබූ ගිවිසුම පොදු විපක්ෂය සමග අත්සන් තැබූ ගිවිසුම සමග කොතෙක් දුරට විසංවාදි වෙත්දැයි මම මීට පෙර පෙන්වා දුන්නෙමි. එකී විසංවාදය තවමත් විසඳී නැති බව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යුහය තීරණය කිරීමේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පිවිතුරු හෙටක් ජාතික සභාව සහ එජාපය ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගන්නා බව එහි 14 වන පිටුවේ සඳහන් වේ. නමුත් මෙම යෝජනා තුන එකිනෙකට පටහැනිය.
“සාධාරණ සමාජයක්“ යෝජනා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කිරීමටයි. එම යෝජනාව සමාන වන්නේ ඉන්දියානු ආකෘතියටයි. එජාපය යෝජනා කරන්නේ ජනපති සහ අගමැති අතර බලය බෙදුණු ප්‍රංශ ක්රමයේ වැනි ආකෘතියකටයි. “පිවිතුරු හෙටක්“ යෝජනා කරන්නේ ඉතාම සීමිත බලයක් ඇති එක් වරකට පමණක් පත් වන ජනපති කෙනෙකු සහිත සුවිශේෂී ආකෘතියකි. මෙම යෝජනා තුන එකිනෙකට විසංවාදි බැවින් ක්‍රියාත්මක කළ හැක්කේ එයින් එකක් පමණි. නමුත් මැතිවරණ ප්රකාශනය පවසන්නේ එම යෝජනා තුනම ක්‍රියාත්මක කරන බවයි.
ඉහත ප්‍රකාශය අනුව සිරිසේන මහතා සම කළ හැක්කේ තරුණයින් තිදෙනෙකුටම විවාහ වීමට පොරොන්දු වූ තරුණියකටයි. එම තිදෙනාම තරුණිය ඇසුරු කරන්නේ තමන් විවාහ කර ගනිතියි විශ්වාසයෙනි. නමුත් අවසානයේ දී විවාහ විය හැක්කේ එක් තරුණයෙකු සමග පමණි. එබැවින් එම තරුණියගේ විවාහ මගුල අවමගුල් හතරකට පාර කපනු ඇත. සිරිසේන මහතාගේ දින සීය ද තමන්ගේ මතය දිනවීමට එකිනෙකා ඇන කොටා ගන්නා කාලගෝට්ටියක් වනු ඇත. දැනටමත් නොකෙරෙන වැඩක් හැඳින්වීමට “සිරිසේනගේ දින සීය වගේ“ යන යෙදුම තරුණයෝ භාවිතා කරති.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ 14 වන පිටුවේ සිරස්තලය වන්නේ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම“ යන්නයි. නමුත් එම පිටුව අවසන් කරන්නේ “ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් සංශෝධනය නොකරන බවට මම සහතික වෙමි“ යනුවෙනි. සිරිසේන මහතා නොදන්නා කරුණ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ද ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මෙය නීතියේ හෝඩිය දන්නා ඕනෑම අයෙක් දන්නා කරුණකි.
විධායක ජනාධිපති ධූරය පිහිටුවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තියෙනි. සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති අතර තුන මිස හතර නැත. නමුත් 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී හතරවන වගන්තිය සංශෝධනය කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය සඳහන් වන තුන්වන වගන්තියට බලපෑමක් එල්ල වන්නේ නම් එකී සංශෝධනය ද ජනමත විචාරණයකට බඳුන් කළ යුතු බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම 2002 දී ඉදිරිපත් කළ නමුත් සම්මත නොවුණු 19 වන සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී විධායකය සතු යම් බලයක් ව්‍යවස්ථාදායකයට පවරන්නේ නම් එය ජනමත විචාරණයකට බඳුන් කළ යුතු බව තීරණය කරන ලදී. එම තීන්දුව දුන් හත් පුද්ගල විනිසුරු මඩුල්ල අතර අද විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින හිටපු අගවිනිසුරුවරුන් වන සරත් සිල්වා මහතා සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ද සිටියහ.
මේ අනුව පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බැවින් ද ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන නොකරන බවට සහතික වන බැවින් ද සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවයි. නමුත් පොදු විපක්ෂය බිහි කරන්නේ ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය මූලික සටන් පාඨය කර ගනිමිනි. එබැවින් මෙම විසංවාදය පෙන්නුම් කරන්නේ නීතිය පිළිබඳ හෝඩියේ දැනුමක් ඇති අයෙකුවත් සිරිසේන මහතාගේ උපදේශකයන් අතර නොමැති බවයි.
සිරිසේන මහතාගේ උපදේශකයන් අතර ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අයෙකු නොමැති බව ද ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙනේ. ඔහු ඉන්ධන මත බදු අඩු කිරීමෙන් බිලියන 43ක් රාජ්‍ය ආදායම අඩුකර විවිධ සහන යෝජනා මගින් බිලියන 890කින් රාජ්‍ය වියදම වැඩි කිරීමට යෝජනා කර තිබේ. එයින් 2015 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 4.6% සිට 12.8% දක්වා වැඩි වේ. මෙම දැවැන්ත මුදල සපයා ගන්නා ආකාරය එම පොතේ නොමැත. එබැවින් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොපෙනේ. විපක්ෂය ණය බර වැඩි බවට චෝදනා නගමින් එය තවත් ඉහළ නැංවීමට යෝජනා කිරීම විහිළුවකි.
වඩාත්ම විහිළු සහගත ප්‍රකාශය වන්නේ මෙගා දූෂණ සිදු නොවුණේ නම් රටේ සංවර්ධනය දස ගුණයකින් ඉහළ යා හැකිව තිබුණු බවයි. සංවර්ධනය මැනීමේ සම්ප්‍රදායික මිනුම් දණ්ඩ වන්නේ ආර්ථික වර්ධන වේගයයි. පසුගිය නව වසර පුරා වාර්ෂිකව 6-7% ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත් හෙයින් සිරිසේන මහතාට අනුව දූෂණ සිදු නොවුණේ නම් එය දස ගුණයක් හෙවත් අවම වශයෙන් 60%ක් වනු ඇති බවයි. ඇත්තෙන්ම එවැනි ආර්ථික වර්ධනයක් සිදු වුණේ නම් ලංකාවේ 2013 දී දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 2,370ක් වී ලොව සත්වන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇත. එවිට ලංකාව සිටින්නේ බ්‍රසීලයට ද ඉදිරියෙනි. එමෙන්ම 2003 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 115,700ක් වී ලොව ඉහළතම ඒක පුද්ගල ආදායම හිමි රට වනු ඇත. වසර නවයකින් එවැනි විප්ලවයක් කළ රටක් ලොව තිබේ ද? මෙයින් පෙනෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කිසිම ආර්ථික විද්‍යාත්මක ප්රවේශයකින් තොරව සිය හිතළු වලින් මෙම පොත පුරවා ඇති බවයි.
ආණ්ඩුවට කෝටි 4,000ක ආදායමක් ලැබෙන ඉන්ධන බදු ඉවත් කිරීමට යෝජනා කිරීම ද සිය ආර්ථික විද්‍යා දැනුමේ දුප්පත්කම පෙන්වූ අවස්ථාවකි. මා දන්නා තරමින් නම් ඉන්ධන මත බදු හෝ රාජ්‍ය භාගය අය නොකරන රටක් ලොව නැත. ඊට හේතුවක් තිබේ. ආණ්ඩුවකට ආදායම් ලැබිය හැක්කේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ මත බදු පැනවීමෙනි. එනම් බදු පනවන්නේ බද්දක් පැනවීමෙන් මිළ ඉහළ ගිය ද ඉල්ලුම දැඩිව වෙනස් නොවන භාණ්ඩ මතයි. නිදසුනක් ලෙස ආණ්ඩුව සීනි මත බද්දක් පැනවූ විට පාරිභෝගිකයින් සීනි වෙනුවට හකුරු මිළ දී ගැනීමට හුරු විය හැක. එවිට සීනි මත පැනවූ බද්දෙන් අපේක්ෂිත ආදායම නොලැබේ. ආණ්ඩුවට ආදායමක් ලැබිය හැක්කේ එවැනි ආදේශක හිඟ භාණ්ඩ මත බදු පැනවූ විට පමණි. සෑම රටකම ඉන්ධන, දුම්වැටි සහ මත්පැන් මත බදු පනවන්නේ මේ හේතුවෙනි.
වෙනත් විකල්පයක් යෝජනා නොකර ඉන්ධන බදු ඉවත් කිරීමෙන් ආණ්ඩුව දැවැන්ත අසීරුතාවයකට පත් වේ. නිසි අධ්‍යනයකින් තොරව කරන මෙවැනි යෝජනා හේතුවෙන් වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි සහනාධාරය, පොහොර සහනාධාරය වැනි අත්‍යාවශ්‍ය ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිය හැක.
නීතිය සහ ආර්ථික කළමනාකරණය රාජ්‍ය පාලනයේ අතිශයින්ම වැදගත් ක්ෂේත්‍ර දෙකකි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පෙන්නුම් කරන්නේ එම ක්ෂේත්රයන්හි ප්රවීණයන්ගේ සහය සිරිසේන මහතාට නොමැති බවයි. නැතහොත් එවැනි ප්‍රවීණයන් සිටියත් ඔවුන්ගේ අදහස් සිරිසේන මහතා ලබා නොගන්නා බවයි. මාසයක් පුරා ගොතන ලද මැතිවරණ ප්රකාශනය මෙතරම් අවුල් සහගත නම් දින සීයෙන් ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව රටට කෙතරම් ව්‍යසනයක් විය හැකි දැයි අනුමාන කළ හැක. සිරිසේන ප්‍රතිපත්ති ප්රකාශනය ඔහුට ඡන්දය දිය යුත්තේ ඇයිදැයි වෙනුවට ඡන්දය නොදිය යුත්තේ ඇයිදැයි අපට කියා දෙන ලියැවිල්ලකි.