ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය ළඟා කර ගනිමින් සිටින්නේ පරිසර හිතකාමී වැඩපිළිවෙළක් ද සමඟින් බව ජනපති පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතිය පරිසරයට ගරු කරන දේශීය ආකෘතියක් බව තමා ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවද ජනාධිපතිතුමා කියා සිටියේ බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවර දී ඊයේ (20) ඇරඹුණු රියෝ +20 පරිසර සමුළුවට රාජ්‍ය නායකයන් සහභාගි වූ ඉහළ පෙළේ සමුළුව අමතමිනි. රටවල් 130 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ සමුළුව ඊයේ පස්වරුවේ ඇරඹිණි.
පරිසරය අපයෝජනය කිරීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය සියලු ජාතීන් විසින් පිළිගත යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පාරිසරික අර්බුදයට එදා දායක වූ හා තවමත් දායක වෙමින් සිටින සංවර්ධිත රටවල් තම සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසරය බේරා දීමේ වගකීම පැහැර නොහැරිය යුතු බවද අවධාරණය කර සිටියේ ය.
පුරාණ කෘෂිකාර්මික ආර්ථිකය සහ විධිමත් පරිසර කළමනාකරණය තුළින් අප පාරිසරික හා ආර්ථික තිරසාරත්වය සේම සමාජ හා දේශපාලන ස්ථාවරත්වය ද ලබා ගත්තා. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ අරහත් මහින්ද හා පුරාණ රජකු වූ දේවානම්පියතිස්ස අතර ඇති වූ ප්‍රථම ඓතිහාසික සංවාදයේ දී “රජතුමා යනු භූමියේ හා පරිසරයේ භාරකරු පමණක් යැයි” පැවසූ ප්‍රකාශය ද සිහිපත් කර සිටියේ ය.
දශක තුනක් පැවති ත්‍රස්තවාදී අරගලයෙන් පසු ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික සංවර්ධනයක් කරා හොඳ මගක ගමන් කරමින් සිටිනවා. අප ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තනයේ ඇති දේශීය ප්‍රතිපත්ති තුළින් අපට ජාත්‍යන්තර, ආර්ථික තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීමට හැකිවූ බවද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
රටේ යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් හා ආයෝජන අවස්ථා විශාල වශයෙන් වැඩි වෙමින් පවතියි. අප මේ සියලු ආර්ථික සාර්ථකත්වයන් අත් කරගෙන සිටින්නේ පරිසරය සංරක්ෂණය හා ආරක්ෂා කරන අතරතුරයි. වසරකට ටොන් 0.6ක් වන අපගේ ඒකපුද්ගල කාබන් දහනය බොහෝ රටවල් හා සසඳන විට ඉතා සුළුයි.
පරිසරය හා සංවර්ධනය සමඟින් මිනිසා හා සොබාදහම අතර එකමුතු බව පවත්වාගෙන යාම සඳහා වෑයම් දැරිය යුතු බවද අවසන් වශයෙන් අවධාරණය කළ ජනාධිපතිතුමා අනාගත පරපුරේ අපේක්ෂා මල් ඵල ගන්වමින් මෙම සමුළුවේ වගකීම් සාක්ෂාත් කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බවද කියා සිටියේ ය.
http://www.dinamina.lk/2012/06/21/_art.asp?fn=n1206213