වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය මහ බැංකුව විසින් මේ සැප්තැම්බර් මාසයේදී වෙනස් කර නොමැති අතර ණය වර්ධනය, ගෙවුම් ශේෂ පීඩනය හා උද්ධමනය අඩු වෙමින් තිබෙන බව සඳහන් කර තිබේ.
මේ අනුව, මහ බැංකුව විසින් බැංකු ක්‍රමයට මුදල් ඇතුළු කරන ප්‍රති විකුණුම් පොලී අනුපාතය සැප්තැම්බර් මාසයේදීත් තවදුරටත් සියයට 9.75 ක අගයක නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
ණය ගලායාම අඩුවේ
මහ බැංකුව පවසා තිබෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 52 ක් පමණ වූ සාමාන්‍ය මාසික බැංකු ණයදීම් ප්‍රමාණය අප්‍රේල් සිට ජූලි දක්වා කාලයේදී රුපියල් බිලියන 27 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
මීට පෙර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබුණේ 2011 තුන්වන කාර්තුවේ සිට ණය වර්ධනය අහස උසට නැගීමට හේතුවූයේ මුදල් අච්චු ගසමින් මහ බැංකුව විසින් බැංකු ක්‍රමයට ද්‍රවශීලතාවය ඇතුළු කිරීමයි.
මහ බැංකුව මෙසේ කරනු ලැබුවේ සිය විදේශ සංචිත විකුණා බැංකු පද්ධතියෙන් ඉවත් කරනු ලැබූ රුපියල් ප්‍රමාණය නැවතත් බැංකු පද්ධතියට ඇතුළු කිරීම සඳහායි.
මෙසේ ඇතුළු කළ මුදල් තුළින් බැංකු විසින් රැස්කළ තැන්පතු හා ණය වාරික ආපසු ගෙවීම් වලටත් වඩා ණය වර්ධනය වූ අතර මෙය ඉතාමත් ජනප්‍රිය නාමයෙන් හඳුන්වන ගෙවුම් ශේෂ අර්බුදයකට පාර කැපුවේය.
අවසානයේදී මහ බැංකුව විසින් 2012 පෙබරවාරි මාසයේදී බැංකු පද්ධතියට මේ ආකාරයෙන් රුපියල් ඇතුළු කිරීම අත්හිටුවා විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාවක් ලබා දුන්නේය.
මෙතැන් පටන් මහ බැංකුව බැංකු පද්ධතියෙන් ඩොලර් මිලදීගත් නිසා (unsterilized purchases) රුපියලට එතරම් අධිප්‍රමාණය වීමට හැකියාවක් නොලැබුණි.
සැප්තැම්බර් මාසයේ සිය මූල්‍ය ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසා තිබෙන්නේ 2012 පළමු අර්ධයේදී මෙරට ආර්ථික කටයුතු වෙනුවෙන් බැංකු පද්ධතිය තුළ තිබෙන ණය ධාරිතාවය ප්‍රමාණවත් බවයි.
උද්ධමනය දමනය කිරීම
මේ අතර, උද්ධමනය සමනය වෙමින් තිබෙන බවත් එය තනි ඉලක්කමක රැඳී තිබෙනු ඇතැයි විශ්වාස කරන බවත් පසුගිය අගෝස්තු මාසයේදී සියයට 9.5 ක් දක්වා වර්ධනය වූ මෙරට උද්ධමනය පිළිබඳ අදහස් දක්වමින් මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබේ.
මීටපෙර, ලංකාව මුහුණ දුන් ගෙවුම් ශේෂ අර්බුද අවස්ථාවන්ගෙන් පසුවද මෙරට උද්ධමනය පහළ ගිය අතර මෙයට හේතුව ගලාගිය ණය අඩුවීමයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=272078899