ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව නඩු පැවරේ
අවසාන යාවත්කාලීන කිරීම : 2012 ඔක්තෝබර් 25 බ්‍රහස්පතින්දා - 17:01 GMT
බී.බී. සී. සංදේශය
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
සබැඳි තේමා
බලය අයුතු ලෙස යොදා ගෙන රුපියල් කෝටි තිස් නවයකට වැඩි මුදලක් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබිණ.
අල්ලස් හෝ දූෂණ කොමිෂම අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කරමින් සඳහන් කළේ , ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරි කිරීමේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්ෂ හැත්තෑ අටකට අධික සංඛ්‍යාවක් මිළදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි තිස් නවයකට වැඩි පාඩුවක් සිදු කොට ඇති බවයි.
එමෙන්ම ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ශාන් ෂන්මුගම් නැමැත්තෙකු පත් කරණ ලෙස නිර්දේශ කිරීම තුලින් විත්තිකාර ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දුෂණ චෝදනා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කොට ඇති බවත් අල්ලස් හෝ දූෂණ කොමිෂම අධිකරණය හමුවේ කියා සිටියේය.
අධිකරණය විසින් විත්තිකාර ප්‍රදීප් කාරියවසම් ට ලබන පෙබරවාරි 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණ.