එයට හේතුව ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ උණුසුම තවමත් මැකී ගොස් නැති බැවිණි. අවසන් වූ පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව ගැන මෙන්ම එම සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පළ කළ අදහස් පිළිබඳව ද උණුසුම් සංවාදයක් රටේ ඇතිව තිබේ. මේ පසුබිම තුළ අයවැය උණුසුම බොහෝ දුරට යටපත්ව තිබේ. එසේ වුවත් අයවැය වූ කලී රටක අනාගත ගමන් මගේ දිශානතිය තීරණය කරනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. ඒ නිසා අයවැය ලේඛනය රටේ ජනතාවට මෙන්ම රටේ ඉදිරි ගමන් මගට ද තීරණාත්මකව බලපාන්නකි. මේ පසුබිම තුළ අපි 2014 - රාජ්‍ය අයවැය ලේඛනය පිළිබඳ කතා කරමු.
නාස්‌තිකාර වියදම් යෑයි අපට කිව නොහැකි නමුත් පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම වෙනුවෙන් සෑහෙන වියදමක් දැරීමට රජයට සිදු විය. එසේ විශාල වියදමක් දැරීමට සිදු වූයේද, රජය ඉතා අහිතකර රාජ්‍ය මූල්‍ය තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදීමය. රාජ්‍ය වියදම් ඉහළ යමින් පැවතීමත්, රාජ්‍ය ආදායම් අඩුවෙමින් පැවතීමත් නිසා මතුව ඇති අහිතකර රාජ්‍ය මූල්‍ය තත්ත්වය හමුවේ, ජනතාවට අලුත් සහන දෙනවාට වඩා සිදුව තිබෙන්නේ, දැනටමත් පවතින ජනතා සහන රැක ගැනීමටය. ඒ නිසා අද ඉදිරිපත් වන අයවැයෙන් රජය විසින් අලුතින් සහන ලබා දෙනවාට වඩා උත්සාහ කරනු ඇත්තේ පවතින සහන රැක ගනිමින් සංවර්ධනාත්මක අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටය. විශේෂිත කණ්‌ඩායම්වලට සහන ලබාදීමට ගියහොත් සිදුවන්නේ රාජ්‍ය වියදම් තව තවත් ඉහළ යැමයි. එහෙත් රජයේ බදු ආදායම් පහත වැටෙමින් තිබෙන තත්ත්වයක් තුළ, එම ඉහළ යන රාජ්‍ය වියදම් පියවා ගැනීමට රජයට සිදුවන්නේ තව තවත් ණය ගැනීමෙනි. ඒ තුළ සමස්‌ත අයවැය හිඟය මෙන්ම රාජ්‍ය ණය බර ද ඉහළ යයි. එවිට ඒ බර දැරිය යුතු වන්නේ ද මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාවමය. මේ තත්ත්වය තුළ රජයේ බදු ආදායම් ඉහළ නංවා ගනිමින්, අයවැය හිඟය අඩු කරගනිමින් ආර්ථික සංවර්ධනය කරා රට යන ගමන් මග පිළිබඳ රජයේ ඉදිරි සැලසුම් අද ඉදිරිපත් වන අයවැය ලේඛනයෙන් අපට දැක බලා ගත හැකිය.
අයවැය ශේෂය යනු යම් වර්ෂයක රජයේ ආදායම සහ වියදම අතර පරතරයයි. මෙම අයවැය ශේෂය හිඟයක් හෝ අතිරික්‌තයක් විය හැකිය. බොහෝ රටවල මෙන්ම අපේ රටේ ද ආදායමට වඩා වියදම වැඩි නිසා කාලාන්තරයක් තිස්‌සේම පවතින්නේ අයවැය හිඟයකි. එසේම අපේ රටේ අයවැය හිඟය තවමත් සාපේක්‍ෂව ඉහළ මට්‌ටමක පවතී. එහෙත් රජය එම අයවැය හිඟය ක්‍රමානුකූලව අඩු කර ගැනීමට ඉලක්‌ක කර තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.4 ක් වූ ගිය වසරේ (2012) සමස්‌ත අයවැය හිඟය මේ වසරේ (2013) දී සියයට 5.8 දක්‌වා සහ ලබන වසරේ (2014) දී සියයට 5.2 පමණ දක්‌වා අඩු කර ගැනීමට රජය අපේක්‍ෂා කරයි. එසේම වර්ෂ 2015 දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 ට වඩා අඩු මට්‌ටමකට පත් කර ගැනීම රජයේ ඉලක්‌කයයි. මෙසේ අයවැය හිඟය ක්‍රමයෙන් අඩු කර ගැනීම සඳහා, සියයට 8 ක ඉහළ ආර්ථික වර්ධනයක් සහ උද්ධමනය සියයට 6 ක පමණ අඩු මට්‌ටමක පවත්වා ගැනීම රජයේ මැදි කාලීන ප්‍රමුඛතාවක් බව මුදල් අමාත්‍යාංශය කියයි.
අයවැය හිඟය අඩු කර ගැනීමට නම්, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමත්, රාජ්‍ය වියදම් අඩු කර ගැනීමත් අවශ්‍යය. රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට අපහසු නම්, රාජ්‍ය ආදායම හෝ වැඩි කර ගැනීමට අප උත්සාහ කළ යුතුය. ඕනෑම රජයක් පවත්වාගෙන යැමටත් මහජන සේවාවන් සැලසීමටත් රජයට ආදායම් අවශ්‍යය. රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග දෙක වන්නේ බදු ආදායම සහ බදු නොවන ආදායමයි. මින් රජයට වැඩිම ආදායමක් උපයා ගත හැක්‌කේ බදු ආදායමෙනි. එහෙත් පසුගිය වසරවලදී ශ්‍රී ලංකාවේ බදු ආදායම ක්‍රමයෙන් පහත වැටී ඇත. (වගුව බලන්න). දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2007 වසරේ සියයට 14.2 ක් වූ රජයේ බදු ආදායම 2008 වසරේදී සියයට 13.3 ක් දක්‌වා සහ 2009 වසරේදී සියයට 12.8 ක් දක්‌වා අඩු විය. 2010 වසරේදී එම බදු ආදායම් ප්‍රතිශතය සියයට 12.9 ක් දක්‌වා සුළු වශයෙන් ඉහළ ගියත් නැවතත් 2011 වසරේදී සියයට 12.4 දක්‌වා සහ 2012 වසරේදී සියයට 11.1 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මෙසේ දිගින් දිගටම බදු ආදායම් අඩු වෙමින් පවතින ප්‍රවණතාව ගැන රජය දැඩි අවධානය යොමු කොට වහාම පියවර ගත යුතු ය.
පසුගිය වසරවලදී රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් අඛණ්‌ඩව රජයේ බදු ආදායම අඩු වීම නිසා එම ක්‍රියාමාර්ග එතරම් ප්‍රතිඵලදායක වී නොමැති බව පැහැදිලි වෙයි. භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම හරහා සියලු ජනයාගෙන් රජයට සෘජුවම බදු අය වේ. ඒවා සෘජු බදු (Direct tax) වේ. ඒ සඳහා දුප්පත්, පොහොසත් භේදයක් නැත. අර්තාපල් කිලෝවක් දුප්පතා මිලට ගත්තත්, පොහොසතා මිලට ගත්තත් ගෙවීමට සිදු වන්නේ එක සමාන බදු මුදලකි. වක්‍ර බදු (indirect tax) වැදගත් වන්නේ මේ නිසාය. එය පුද්ගලයා හෝ ආයතන උපයන ආදායම මත අය කරන්නකි. එහෙත් ආදායම් බදු ගෙවීමට හැකියාව තිබෙන බොහෝ පිරිසක් තම ධනය හා බලය හමුවේ බදු ගෙවීමෙන් වැළකී සිටිති. ඔවුන් බදු දැලට ඇතුළත් කර ගැනීමට සාර්ථක ක්‍රියාමාර්ග ගන්නා බවක්‌ද නොපෙනේ.
තම කර්මාන්ත සහ ව්‍යාපාර යනාදියට රටේ යටිතල පහසුකම්වලින් වැඩි ප්‍රයෝජනයක් ගන්නේ මේ ඉහළ ආදායම් උපයන්නන්ය. ඒ නිසා ඔවුන් තම උපයන ආදායමට සරිලන පරිදි සාධාරණ බදු මුදලක් රජයට ගෙවිය යුතුය. ඒ අයගෙන් නිසි පරිදි රජයට බදු මුදල් (සෘජු බදු) අයකර ගැනීමටත්, නොයෙකුත් හොර ජාවාරම් නිසා රාජ්‍ය බදු ආදායමට හානි සිදුවන අවස්‌ථා අවම කර ගැනීමටත්, මුදල් අමාත්‍යාංශය සහ රටේ ප්‍රධාන ආදායම් උපයන දේශීය ආදායම්. රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු විසින් පියවර ගත යුතුව තිබේ. එසේ නැතහොත් භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම හරහා රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත වැඩි බදු බරක් පැටවීම වැළැක්‌විය නොහැකිය. මේ නිසා අද ඉදිරිපත් කෙරෙන අය වැය හමුවේ රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වනු ඇත්තේ රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ උත්සාහය සාර්ථක කර ගැනීමයි. කවරක් නමුත් පවතින බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු නොවන බවද මහා භාණ්‌ඩාගාර ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1421176908