අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව අවධාරණය කළ අතර මේ පනත මගින් සිය අභිමතය පරිදි ව්‍යාපාරයක් කිරීමට හා ව්‍යවසායකත්වය දැරීමට සහ රැකියාවක් කිරීමට ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා ආර්ථික නිදහස බරපතළ ලෙස උල්ලංඝණය කර තිබෙන බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ පනත අනුව ආණ්ඩුවට යම් ව්‍යාපාරයක් හෝ යම් දේපොළක් හෝ පවරා ගැනීමේ සහ පාලනය කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ නම් ඒ ඕනෑම ව්‍යාපාරයක් හෝ දේපොළක් අසාර්ථක බවට තර්ක කිරීමේ හැකියාව ආණ්ඩුවටත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් ලැබෙන බවයි.
මීට අමතරව, මෙම පනත යටතේ යම් ව්‍යාපාරයක් අසාර්ථක යැයි ආණ්ඩුව පවසන්නේ නම් එයට විරුද්ධව තර්ක කිරීමේ හැකියාවක් හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
“මේ වනවිට විශාල වශයෙන් ලාභ උපයන නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂනායක දයා ගමගේ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මියට අයත් සෙවනගල සීනි සමාගම අපේක්‍ෂිත ප්‍රතිලාභ නොලැබූ ව්‍යාපාරයක් ලෙස සලකා ආණ්ඩුව පවරා ගැනීමට යන්නේ කිනම් පදනමක් යටතේද කියා අප ප්‍රශ්න කරනවා. “
“එමෙන්ම කොටස් වෙළෙඳපොළේ ක්‍රියාත්මක වන විශාල වශයෙන් ලාභ උපයන හැරී ජයවර්ධන මහතාට අයත් පැලවත්ත සීනි සමාගමද ආණ්ඩුව අපේක්‍ෂිත ප්‍රතිලාභ නොලැබූ සමාගම් ලැයිස්තුවට ඇතුළත් කර පවරා ගැනීමට යන්නේ ඇයි? “
“හිඟුරාන සීනි සමාගම අවුරුදු 15 ක් මුළුල්ලේ අක්‍රිය වී අලාභ වී තිබෙන නමුත් ආණ්ඩුවට අනුව ඒ සමාගම මේ පනත යටතේ රජයට පවරා ගත යුතු සමාගමක් නොවන්නේ කිනම් හේතුවක් නිසාද?“
යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මේ පනත් කෙටුම්පතේ 9(ඒ) වගන්තිය යටතේ අවුරුදු 20 ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ රජයට අයිතිව තිබූ යම් ඉඩමක් යම් පුද්ගලික ආයතනයක් ලබා ගත්තේ නම් හෝ 9(බී) වගන්තිය යටතේ ඒ ආයතනය සිය ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජයෙන් බදු සහන ලබාගෙන තිබෙන්නේ නම් හෝ ඒ දේපොළ සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති නම් ඒ සියල්ල පවරා ගැනීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙන බව හෙතෙම පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මෙසේ පැවසීය.
“සිංහල බෞද්ධ ජනතාව ඒ අයගේ අයිතිවාසිකම් සහ සිංහල ජාතිකත්වය ගැන පමණක් සෑම අවස්ථාවකම කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩු එදා සිටම කළේ එසේ කතා කරමින් දේශීය සිංහල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගෙන ඒ ව්‍යාපාරිකයින් අන්ත අසරණ කරවා ජනතාවට පහර ගැසීමයි. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලනය යටතේ බස් ජනසතු කිරීමේ ව්‍යාපාරයෙන් ආරම්භ කළ මේ දේශීය සිංහල ව්‍යාපාර පවරා ගැනීම ඒ ආණ්ඩු එදා සිට මේ දක්වා සිදු කරනවා. “
මෙම පනත මගින් ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වන බවත් විදේශීය ආයෝජකයින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය නොකිරීමට ඉඩ තිබෙන බවත් රටේ දියුණුව වෙනුවෙන් සෘජු විදේශීය ආයෝජන අවශ්‍ය මේ මොහොතේ මේ තීරණය නොගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.