නවතම දත්ත වලින් අනාවරණය වන පරිදි මෙරට විදේශ වෙළඳාම් කටයුතු පහළ යමින් තිබෙන අතර මැයි මාසයේදී අපනයන සියයට 15.1 කින් පහළ ගොස් ඩොලර් මිලියන 710.1 ක ආදායමක් ලබා තිබෙද්දී ආනයන සියයට 6.4 කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,575 ක ආනයන සිදුකර තිබේ.
මහ බැංකු දත්ත අනාවරණය කරන්නේ කාර්මික අපනයන මැයි මාසයේදී සියයට 16.2 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 636 ක් වෙද්දී ඇඟලුම් අපනයන සියයට 13.5 කින්ද රබර් නිෂ්පාදන අපනයන සියයට 17.9 කින්ද පහළ ගොස් තිබෙන බවයි.
මේ අනුව, මැයි මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 278.2 ක්ද රබර් නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 64.1 ක්ද වේ.
ආනයන භාණ්ඩ පහළ යාමේදී අන්තර් භාණ්ඩ ආනයනය සියයට 10 කින් පහළ ගොස් ඇත. එහි ආනයන වටිනාකම මැයි මාසයේදී ඩොලර් මිලියන 972.5 ක් වන අතර පාරිභෝගික ආනයන භාණ්ඩ සියයට 11 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 268.5 ක්වී තිබේ.
කෙසේවෙතත්, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 11.4 කින් ඉහළ ගොස් තිබෙන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 331.9 කි. මෙහිදී, යන්ත්‍ර සූත්‍ර ආනයනය සියයට 9.6 කින් ඩොලර් මිලියන 164.5 ක් දක්වා වැඩිවී තිබෙන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන සියයට 23.3 කින් ඩොලර් මිලියන 93.7 ක් දක්වා වැඩිවී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ මැයි මාසයේ වෙළඳ හිඟය සියයට 2.1 කින් වැඩිවී එහි වටිනාකම ඩොලර් මිලියන 865 ක්වී තිබේ.
මහ බැංකු දත්ත අනාවරණය කරන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඒවූ ප්‍රේෂණ ප්‍රමාණය මැයි මාසයේදී සියයට 22.4 කින් ඩොලර් මිලියන 507 ක් දක්වා වැඩිවූ බවයි.
මේ අතර, මේ වසරේ මැයි දක්වා මාස පහ තුළදී අපනයන සියයට 5.4 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 4,023.9 ක්වී ඇත. මෙහිදී, කෘෂි කාර්මික අපනයන සියයට 11.8 කින් ඩොලර් මිලියන 893.7 ක් දක්වා පහළ ගොස් තිබෙන අතර තේ අපනයන ඩොලර් මිලියන 530 ක් දක්වා සියයට 10.8 කින් අඩුවී තිබේ.
මුල් මාස පහ තුළදී ආනයන සියයට 7.8 කින් පහළ ගොස් ඩොලර් මිලියන 8,208.1 ක ආනයන මෙරටට ගෙන්වා තිබෙන අතර වෙළඳ හිඟය සියයට 24. කින් ඉහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 4,184 ක්වී ඇත.
7http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1961216379