මෙවැනි තරුණ අසහනයන් පුබුදුවන ආර්ථික විෂමතාවය අදටත් අළුයට ගිනි පුපුරුමෙන් එලෙසම තිබේ. මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම පළාත් බද දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත වලින් මේ බව තහවුරු වන අතර බස්නාහිර පළාත සමග සැසඳීමේදී මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව, සබරගමුව, යන පළාත් තවමත් තිබෙන්නේ ගව් ගණනක් ඈතිනි.
නව රැල්ල
මහ බැංකුව වඩාත් උලුප්පා දක්වන කාරණය වන්නේ ගිය වසරේදී බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 2010 වසරට වඩා දශම හතරකින් අඩුවී තිබෙන බවයි. එනම් 2010 වසරේදී බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට කළ දායකත්වය සියයට 44.8 ක්වූ අතර 2011 වසරේදී එම දායකත්වය සියයට 44.4 ක් දක්වා අඩුවී තිබේ.
මීට අමතරව, මධ්‍යම පළාත හැරුණු කොට අනිකුත් පළාත් ගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට කළ දායකත්වය වැඩිවී ඇත. බස්නාහිර පළාතේ දායකත්වය අඩු වෙමින් අනිකුත් පළාත්වල දායකත්වය වැඩිවෙමින් විෂමතාවය අඩුවීමේ නව රැල්ල පිළිබඳව සතුටු විය හැකිය.
නමුත්, මෙම වර්ධනයන් කොතරම් ප්‍රමාණ වලින්දැයි සැලකූවිට ප්‍රාදේශීය අසහනය තවමත් එලෙසම යැයි ප්‍රකාශ කළ හැකි අතර මෙම විෂමතාවය අඩුකිරීම සඳහා තවදුරටත් කැපවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ.
තවමත් බස්නාහිර වෙනම රටකි
ගිය වසරේදී බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට සියයට 44.4 ක දායකත්වයක් සිදුකරන විට දෙවැනියට පැමිණි දකුණු පළාත කර තිබෙන දායකත්වය සියයට 11.1 කි.
එනම් පළමු වැනියා හා දෙවැනියා අතර පරතරය සියයට 33.3 කි.
අඩුම දායකත්වයක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 3.7 ක දායකත්වයක් සපයා තිබෙන උතුරු පළාත හා බස්නාහිර පළාත අතර වෙනස සියයට 40.7 කි.
මීට අමතරව, 2011 වසරේදී මෙරට ඒක පුද්ගල ආදායම 313,511 ක් වන අතර බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රුපියල් 490,724 කි.
බස්නාහිර පළාත හැරුණු කොට 313,511 ක සාමාන්‍ය ඒක පුද්ගල ආදායම් මට්ටමට වඩා සෙසු සියළු පළාත් සිටින්නේ පහළින්ය.
යුද්ධය අවසන් කිරීමේ වාසි
යුද්ධය අවසන් කිරීම නිසා මෙතෙක් නිදා සිටි උතුරු පළාත වර්ධනය වෙමින් තිබේ. කෘෂි කර්මාන්තය, ධීවර, ඉදිකිරීම්, ගමනා ගමන හා මූල්‍ය සේවාවන්හි සිදුවූ ප්‍රසාරණය නිසා ගිය වසරේදී නාමික වශයෙන් ඉහළම වර්ධනයක් ලබාගත් පළාත බවට පත්වී තිබෙන්නේ උතුරු පළාතයි.
2010 වසර සමග සැසඳීමේදී උතුරු පළාතේ වී නිෂ්පාදනය ගිය වසරේදී සියයට 90 කින් වර්ධනය වී තිබෙන අතර කරදිය හා මිරිදිය මත්ස්‍යය නිෂ්පාදනය පිළිවෙලින් සියයට 38 කින් හා 165 කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ. මීට අමතරව ගිය වසරේදී උතුරු පළාතේ බැංකු ශාඛා 34 ක් අළුතින් ආරම්භ කිරීමද මෙම වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයා ඇත.
මේ අනුව, ගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිම වර්ධන අනුපාතය වන සියයට 27.1 ක් පෙන්නුම් කර තිබෙන්නේ උතුරු පළාත විසිනුයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය හා දකුණ
ගිය වසරේදී දකුණු පළාතේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 21.4 කින් වර්ධනය වී තිබේ. මහ බැංකුව පවසා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති මෙම වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයූ බවයි.
මීට අමතරව, සංචාරක කර්මාන්තයේ වර්ධනය තුළින්ද දකුණට සහයෝගයක් ලැබී ඇත.
සමස්ත චිත්‍රය
අවබෝධය පිණිස සියලු පළාත්වල දායකත්වය පිළිබඳ යම් සාරාංශයක් සැපයීම වැදගත් වේ.
මේ අනුව, බස්නාහිර පළාත ගිය වසරේදී සියයට 44.4 ක දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතයට සිදුකරන විට එහි වර්ධනය සියයට 15.6 කි.
මධ්‍යම පළාත සියයට 9.8 ක දායකත්වයක් සිදුකරන විට එහි වර්ධනය සියයට 14.5 ක්ද, දකුණු පළාත සියයට 11.1 ක දායකත්වයක් සිදුකරන විට සියයට 21.4 ක වර්ධනයක්ද ලබා තිබේ.
මීට අමතරව, උතුරු පළාත සියයට 3.7 ක දායකත්වයක් ලබාදෙන විට සියයට 27.1 කින් වර්ධනය විය. නැගෙනහිර පළාතේ දායකත්වය සියයට 5.7 ක් වනවිට එහි වර්ධනය සියයට 12.4 කි.
වයඹ පළාත දළ දේශීය නිෂ්පාදිතයට ගිය වසරේදී සියයට 10.0 ක දායකත්වයක් ලබාදී තිබෙන්නේ සියයට 21.9 ක වර්ධනයක් පවත්වා ගෙන යමින්ය.
උතුරු මැද පළාත සියයට 4.6 ක දායකත්වයක් ලබාදී තිබෙන අතර එහි වර්ධනය සියයට 12.4 ක්ද, ඌව පළාත සියයට 4.5 ක දායකත්වයක් ලබාදෙන විට එය වර්ධනය සියයට 15.5 ක්ද වෙයි.
සබරගමු පළාතේ දායකත්වය සියයට 6.2 ක් වෙද්දී එහි වර්ධනය සියයට 15.7 කි.
(මෙම දත්ත සියල්ල වෙළඳ පොළ මිල අනුව ගණනය කර තිබෙන නිසා උද්ධමනයද මෙම දත්ත තුළ ගැබ්ව පවතී.)
ජයන්ත කෝවිලගොඩගේ
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=2004640982