තමාට ඉල්ලා අස්වීමට තරම් බලපෑම් කිරීමට කොටස් වෙළඳ පොළ ආයෝජකයින් හා තැරැව්කරුවන් පිරිසකට හැකියාව තිබේ නම් ඔවුන් කෙතරම් බලවත් දැයි සිතා බලන ලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා කියයි.
“විමසුම“ සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න පැවසුවේ අද පස්වරුවේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය නැකතකට අනුව භාරදෙන බවයි.
පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ අයථා ගනුදෙනු පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණ හමස් පෙට්ටියට වැටී තිබුණු බවත් ඒවා සහ අළුතින් පරීක්ෂණ ආරම්භ කිරීම තමාට ඉල්ලා අස්වීමට බල කිරීමට හේතුව යැයි හෙතෙම අප සමග කීය.
එසේ නොමැතිව තමාට ස්වාධීනව අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නොමැති බව කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ඉදිරියේ කොළඹ කොටස් වෙළඳ පොළට කුමන ආකාරයේ ඉරණමක් උදාවේදැයි තමාට කිව නොහැකි වුවත් තමා ශ්‍රී ලාංකිකයෙකු ලෙස යහපත් වේවායි ප්‍රාර්ථනා කරන බවත් තමාගෙන් පසුව තනතුර භාරගන්නා තැනැත්තාට හෝ තැනැත්තියට කෙබඳු බලපෑමක් එල්ලවේදැයි කිව නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස මීට පෙර කටයුතු කළ ඉන්ද්‍රාණී සුගතදාස මහත්මියද තම හෘද සාක්ෂියට එකඟව වැඩ කටයුතු කිරීමට අපහසු බව සඳහන් කරමින් පසුගිය කාලයේදී ඉල්ලා අස්වූ අතර එවක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ මලික් කාදර් මහතා මුදල් අමාත්‍යංශයට මාරු කරනු ලැබීය.
නියාමකයා වන සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධාන තනතුරට එල්ල වෙමින් තිබෙන බලපෑම පිළිබඳව මේ වනවිට ආයෝජකයින් තුළ හා සමාජයේ කතිකාවක් ඇතිවී තිබේ.
කොළඹ කොටස් වෙළඳ පොළ මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට “රන් ආකරයක්“ වුවත් නිසි නියාමනයක් නොමැති කමින් කුඩා ආයෝජකයින් අර්බුදයක් ඉදිරියේ සිටින බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු මීට පෙර අවස්ථාවක කොළඹදී පැවති සමුළුවකදී අවධාරණය කළේය.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු මෙන්ම නීතිඥයෙකුද වන අරිත වික්‍රමනායක මහතා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී මෙම කරුණු දැක්වීම සිදුකළේය.
මේ අනුව, නියාමකයින් විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ක්‍රියා මාර්ග නොගතහොත් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවට නැගී සිටිය නොහැකි බව මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කොටස් වෙළඳපොළ අයුතු ලෙස හසුරුවන කිහිප දෙනෙකු එක්වී කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට එකඟ නොවන අයුරින් සමහර බංකොලොත් සමාගම් වල කොටස් මිල ඉහළ දැමීම පිළිබඳව වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය.
මෙවැනි තත්ත්වයන් හමුවේ ආරක්ෂාවක් අවශ්‍ය කුඩා කොටස් ආයෝජකයින් ආරක්ෂා නොකිරීම පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.
නීත්‍යාණුකූලව කොටස් වෙළඳ පොළින් මුදල් ඉපයීමට හැකි බවත් යමෙකු එම නීති කඩනවා නම් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට අදාළ පුද්ගලයින් අධිකරණයට රැගෙන යා හැකියැයිද වික්‍රමනායක මහතා අවධාරණය කළේය.
කොටස් ආයෝජකයින් ආරක්ෂා කිරීමට නීති ගෙනඒම මෙන්ම කොටස් ආයෝජකයින් දැනුවත් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසමේ වගකීමක් වුවත් මේ වනවිට එවැනි දෙයක් සිදුවනු තමන්ට නොපෙනෙන්නේ යැයි කියාද වික්‍රමනායක මහතා පැවසීය.
තිලක් කරුණාරත්න මහතා අප සමග පැවසුවේ පනතේ ලැබී ඇති බලය අනුව වැඩ කිරීමට නොහැකි නම් ඉන්නවාට වඩා ඉල්ලා අස්වීම හොඳ බවයි.
ජයන්ත කෝවිලගොඩගේ
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1108686215