ලොවම දෑස් දල්වාගෙන බලා සිටියේ ඇමරිකානු මහ බැංකුව විසින් ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් වියදම් කරන මුදල් යම් ප්‍රමාණයකින් හෝ කපා දමනු ඇති බවටයි. ඇමරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ බුද්ධිමතුන් දින දෙකක් පුරා සාකච්ඡා කර පසුගියදා ගත් තීරණයෙන් මුළු ලොවම මවිතයට පත්විය.
එනම්, ඇමරිකානු මහ බැංකුවේ ප්‍රධානී, බෙන් බර්නැන්කි පසුගිය 18 වනදා මාධ්‍ය අමතමින් පැවසුවේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ඇමරිකාවට එම අර්බුදයෙන් ගොඩ ඒමට තවදුරටත් සහාය අවශ්‍ය යැයි ෆෙඩරල් රිසර්ව් විවට වෙළඳ පොළ කමිටුව (Federal Open Market Committee (FOMC)) විසින් තීරණය කර තිබෙන බවයි.
මේ නිසා, මාසයකට ඩොලර් බිලියන 85 ක පමණ බැඳුම්කර මිලදී ගැනීම දිගටම සිදුකිරීමට තීරණය කර තිබෙන බව හෙතෙම පැවසීය.
මීට පෙර, ආර්ථික විශ්ලේෂකයින් විසින් අනාවැකි පළකර තිබුණේ ඇමරිකානු මහ බැංකුව විසින් මෙම බැඳුම්කර මිලදී ගැනීම ඩොලර් බිලියන 05 ත් 20 ත් අතර ප්‍රමාණයකින් අඩු කරන්නට මෙවර පියවර ගනු ඇති බවයි.
නමුත්, බෙන් බර්නැන්කි පැවසුවේ වෙනත් කතාවකි.
එනම්, ඇමරිකානු ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වූ පසුව ආර්ථිකයට සහායක් වන මෙම බැඳුම්කර මිලදී ගැනීමේ කටයුතු වලින් ටික ටික ඉවත් වීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. නමුත්, එය සිදුකරන නිශ්චිත දින වකවානු හෙතෙම සඳහන් කළේ නැත.
මේ අතර, ෆෙඩරල් රිසර්ව් විවට වෙළඳ පොළ කමිටුව විසින් ඇමරිකානු ආර්ථිකයේ මේ වසරේ වර්ධනය හා ලබන වසරේ වර්ධනය මුලින් අපේක්ෂිත මට්ටමට වඩා පහළ දමා තිබේ.
මේ අනුව, මේ වසරේ ඇමරිකානු ආර්ථික වර්ධනය සියයට 0.3 කින් පහත දමා තිබෙන අතර ආර්ථිකය සියයට 2.0 ත් 2.3 ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කර තිබේ.
ලබන වසරේ ඇමරිකානු ආර්ථිකය සියයට 2.9 ත් 3.1 ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි සඳහන්ය.
ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීම සඳහා තවදුරටත් නොවෙනස්ව කර ගැසීමට ඇමරිකානු මහ බැංකුව ගත් තීන්දුව නිසා ලෝකය පුරා මූල්‍ය වෙළඳ පොළවල පිබිදීමක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමරිකාවේ මහ බැංකුව ගන්නා තීරණ තීන්දු සම්බන්ධයෙන් ලොව පුරා පිහිටි මූල්‍ය වෙළඳ පොළවල් දැඩි සංවේදීතාවයක් දක්වයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=716047928