මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට දොලොස් ලක්ෂය ඉක්මවා තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය දැවැන්ත ආකාරයෙන් වර්ධනය වීමයි.
මේ අනුව, 2014 ඔක්තෝම්බර් දක්වා මුල් මාස දහය තුළදී මෙරටට සංචාරකයින් 12,28,754 ක් පැමිණ තිබෙන අතර ගිය වසරේ මුල් මාස දහය තුළදී පැමිණ තිබුණේ සංචාරකයින් 10,11,255 කි. මේ අනුව, සංචාරකයින් පැමිණීම සියයට 21.5 කින් වර්ධනය වී ඇත.
මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරටට චීන සංචාරකයින් 106,888 ක් පැමිණ තිබීමයි. ගිය වසරේ අදාළ කාලයේදී මෙරටට පැමිණ තිබුණේ චීන සංචාරකයින් 44,742 කි. මේ අනුව, චීන සංචාරකයින් පැමිණීම සියයට 138.9 කින් අති විශාල ලෙස වර්ධනය වී තිබේ.
මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් බටහිර යුරෝපයෙන් පැමිණ තිබෙන අතර එම ප්‍රමාණය 387,215 කි.
දෙවැනියට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ දකුණු ආසියාවෙනි. එම ප්‍රමාණය 294,075 ක් වේ.
ගිනිකොන දිග ආසියාවෙන් සංචාරකයින් 229,870 ක් පැමිණෙමින් එම කළාපය තුන්වන ස්ථානයට පත්ව ඇත.