http://www.dailynews.lk/?q=local/no-joy-cse-fixers
කොටස් වෙළෙඳපොළ පහළට ඇද දමන්න හැදුවොත් වැඩ වරදී
මුදල් ඇමැති කියයි
ජයසිරි මුණසිංහ
කෘත්‍රිම ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පහළට ඇද දැමීමට ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය. කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයේ පහළ වැටීමක් තිබේදැයි දිනමිණ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
නව ආණ්ඩුවට අතුරු අයවැයෙන් පැන වූ සුපිරි වාසි බද්දට අනුව බදු ගෙවීමට අකමැති ටික දෙනෙකු , මෙලෙස කොටස් වෙළෙඳපොළ බිඳ වැට්ටවීමකට මාන බලන බව පෙනෙන්නට ඇතැයි කී ඇමැතිවරයා, ඔවුන්ට එරෙහිව නීති මඟින් ක්‍රියා කරන බව අවධාරණය කෙළේය.
“කොළඹ කොටස් වෙළෙඳපොළේ සියයට 98ක් සාමාන්‍ය ජනතාවගේ කොටස්. කොටස් සීයයට දෙකක් තුනක් අයිති සුපිරි සමාගම් ටිකක් මේ තත්ත්වය තේරුම් නොගෙන වෙළෙඳපොළ අවුල් කරන්න හදනවා නම් ඊට ඉඩ දෙන්න අපිට බැහැ. අපි ඊට එරෙහිව දැඩිව නීති මඟින් ක්‍රියා කරනවා යැයි ඇමැතිවරයා කීය.
පසුගිය ආණ්ඩුවේ විශේෂ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාගම් ව්‍යාපාර සංඛ්‍යාවක් අතීත වසර කිහිපයක් තුළ අති ප්‍රමාණික ලාභ උපයා ඇති බව අප නිරීක්ෂණය කළා. මෙහිදී වෙනත් සමාගම් / ව්‍යාපාරවලට ඒ වෙනුවෙන් පිරිවැයක් දරන්නට සිදු වුණා.
මෙය කිසිම අයුරකින් නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. වගකිවයුතු රජයක් ලෙස සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වාදීම හරහා අප විසින් සමාජයට සාධාරණයක් ඉටු කරන්න ඕනෑ. ඒ අනුවයි සුපිරි වාසි බද්දක් අපි යෝජනා කෙළේ. මේ බද්ද ගෙවන්න වෙන්නේ 2013 / 2014 බදු වර්ෂය තුළ රුපියල් මිලින 2000කට අධික ලාභයක් උපයන ලද ඕනෑම සමාගමක්, පුද්ගලයෙක් තම ලාභයෙන් සීයයට 25 බදු ගෙවන්න ඕනෑ.
අයුතු ලෙස උපයන ලද වාසි මහජනතාවට ආපසු ලබාදීමටයි මෙය අපි පැනවූවේ. මෙයින් රුපියල් මිලියන 50,000 ආදායමක් උපයා ගන්නට හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා යැයි ඇමැතිවරයා සඳහන් කෙළේය.