ගලා එන අරමුදල් ධන තත්ත්වයට පත්වේවි - මහ බැංකු නියෝජ්‍ය අධිපති
කොළඹ කොටස් වෙළද පොළට ගලා එන අරමුදල් ප්‍රවාහවල ධනාත්මක තත්ත්වයක් මේ වසර අවසන් වනවිට දැකිය හැකිවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විශ්වාසය පළකරයි.
මේ වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළින් ඩොලර් මිලියන 150 ක පමණ ශුද්ධ අරමුදල් පිටතට ගලා ගොස් තිබේ.
“මේ වසර අවසන් වනවිට කොටස් වෙළඳ පොළට ගලාඑන අරමුදල්වල ශුද්ධ අගය ධන තත්ත්වයට පත්වේවි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය.
කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් විශාල ලෙස ඉහළ යද්දී මෙරට දිගු කාලයක් සිටි බොහෝ විදේශීය ආයෝජකයින් කොටස් විකුණා සිය මුදල් තම රටවලට රැගෙන යන්නට කටයුතු කරනු පසුගිය කාලයේදී දකින්නට ලැබුණු ප්‍රවණතාවයකි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජය පාලනය කරන අරමුදල් විසින් කොටස් වෙළඳ පොළේ ආයෝජනයට පෙළඹීම නිසා වැඩිවූ ද්‍රවශීලතාවය බොහෝ විදේශීය ආයෝජකයින්ට ඉවත්වීමට අවස්ථාව සැලසූ බවයි.
මීට පෙරදී විදේශීය ආයෝජකයින්ට කොළඹ කොටස් වෙළඳපොළින් ඉවත් වීමට අවශ්‍ය වූ විට සිය කොටස් තවත් විදේශීය ආයෝජකයෙකුට විකිණිය යුතු තත්ත්වයක් බොහෝවිට තිබුණේ දේශීය වෙළඳපොළේ එතරම් ධාරිතාවයක් නොතිබූ නිසයි.
“මේ වනවිට ලෝකයේ තිබෙන තත්ත්වයේ යම් අවධානමක් තිබෙනවා. අපි මේ වනවිට විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සමග වැඩ කරනවා. ඔවුන් ඇමරිකාවේ හෝ යුරෝපයේ අය නෙවෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආසියාවේ අය.“
යනුවෙන් ධීරසිංහ මහතා වැඩිදුරටත් කීය.
http://www.vimasuma.com/index.php?op...hika&Itemid=56