පසුගියදා වාහන බදු වැඩි කිරීමෙන් පසුව මෙරට වාහන ලියාපදිංචිය විශාල වශයෙන් අඩු වෙමින් තිබෙන අතර එහි නවතම දත්ත හෙළිවේ.
ජේබී සෙකියුරිටීස් සමාගම විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව 2012 ජූලි මාසයේදී වාහන ලියාපදිංචිය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 55 කින් අඩුවී තිබෙන අතර ලියාපදිංචි වී තිබෙන වාහන ප්රමාණය 26,799 කි.
2011 ජූලි මාසයේදී වාහන 41,481 ක් මෙරට ලියාපදිංචි වී තිබුණි.
මේ වසරේ පළමු මාස හත තුළදී අළුත් හා පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය 18,376 ක්වී තිබෙන අතර එය ගිය වසරේ මුල් මාස හත තුළදී 31,462 ක් විය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව එන්ජින් ධාරිතාවය 1000cc වලට වඩා අඩු මෝටර් රථ ලියාපදිංචිය මේ වසරේ මුල් අර්ධයේදී 7,343 ක් දක්වා අඩුවී තිබෙන්නේ 2011 වසරේ මුල් අර්ධයේදී වූ 12,432 ක මට්ටමක සිටයි.
කර්මාන්තයේ නියුතු පිරිස් විශ්වාසය පළකරන්නේ මේ වසරේ මෙරට වාහන ලියාපදිංචිය වාහන මත බදු විශාල ලෙස වැඩිකිරීම නිසා සියයට 40 කින් පමණ ගිය වසරට වඩා අඩුවනු ඇති බවයි.
ලාංකේය වෙළඳ පොළේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන Maruti Alto අලෙවිය ගෙවුණු ජූලි මාසයේදී විශාල ලෙස අඩුවී තිබෙන අතර විකිණී තිබෙන්නේ මෝටර් රථ 127 කි. ගිය වසරේ ජූලි මාසයේදී මෙම මෝටර් රථ 858 ක් විකුණා තිබුණි.
ජේබී සිකියුරිටීස් දත්තයන්ට අනුව මේ ජූලි මාසයේදී Maruti/Suzuki මෝටර් රථ 236 ක් දක්වා අලෙවිය පහත වැටී තිබෙන්නේ 2011 ජූලියේදී අලෙවි වූ මෝටර් රථ 1373 ක මට්ටමක සිටයි.
මේ ජූලි මාසයේදී විකිණී තිබෙන්නේ නිසාන් මෝටර් රථ 03 ක්, ටොයොටා මෝටර් රථ 27 ක් හා චෙරි මෝටර් රථ 04 කි. 2011 ජූලි මාසයේදී මෙම මෝටර් රථ පිළිවෙලින් 58 ක්, 66 ක් හා 41 ක් විකිණී තිබුණු බව මෙම දත්ත අනාවරණය කරයි.
මේ අතර, 2012 ජූලියේ යතුරු පැදි අලෙවිය 11,315 ක් දක්වා අඩුවී තිබෙන්නේ 2011 අදාළ කාලයේදී වූ 20,460 ක මට්ටමක සිටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=163866824