ගෙවුණු ජූලි මාසයේදී මෙරට අයවැය ඉලක්ක යළිත් විශාල පසුබෑමකට ලක්ව තිබෙන අතර ඊට මාස දෙකක පමණ කාලයකදී රාජ්‍ය මූල්‍ය අංශය යම් ශක්තිමත් බවක් පෙන්නුවද වර්තන වියදම් විශාල ලෙස වැඩිවීම මෙම පසුබෑමට හේතුවී තිබේ.
රජයේ නිළ දත්ත වලින් මේ බව හෙළිවන අතර මේ වසරේ මුල් මාස හත තුළදී රාජ්‍ය ආදායම සියයට 12.6 කින් රුපියල් බිලියන 556 ක් දක්වා වර්ධනය වී තිබුණද වර්තන වියදම් සියයට 19.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 695.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව, රජයේ ආදායම් හිඟය හෙවත් සමස්ත රාජ්‍ය ආදායම හා වර්තන වියදම්වල වෙනස මේ වසරේ මුල් මාස හත තුළදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 57.8 කින් ඉහළ ගොස් ආදායම් හිඟය රුපියල් බිලියන 139.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව, වර්තන ගිණුමේ හිඟයද පසුගිය ජුනි මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 75.3 ට වඩා විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
මේ වසරේ මුල් මාස හත තුළදී තවත් කැපී පෙනෙන කාරණයක් වන්නේ ප්‍රාග්ධන වියදම් සියයට 41.6 කින් රුපියල් බිලියන 286.4 ක් දක්වා වර්ධනය වී තිබීමයි.
මෙවන් පසුබිමක් තුළ 2012 මුල් මාස හත තුළදී මෙරට සමස්ත අයවැය හිඟය (ප්‍රදාන සමග) සියයට 46.5 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 425.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙහීදී, කැපී පෙනෙන තවත් කාරණයක් වන්නේ මුල් මාස හතේ සමස්ත අයවැය හිඟය 2012 වාර්ෂික සමස්ත අයවැය හිඟයේ ඉලක්කය වන රුපියල් බිලියන 468.9 ක අගයේ ආසන්නයටම පැමිණ තිබීමයි.
මහ බැංකුව විසින් මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 6.8 කට අඩුවනු ඇතැයි පුරෝකතනය කර තිබෙන අතර මින් පෙර සඳහන් කර තිබුණේ ආර්ථික වර්ධනය සියයට 7.2 ක් පමණ වනු ඇති බවයි.
http://www.vimasuma.com/news_images/12lbosept10budget.gif
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1316453382