අර්බුදයට විධායකයත් අධිකරණයත් දෙකම වග කිව යුතුයි - නීතීඥ ගෝමින් දයාසිරි
අවසාන යාවත්කාලීන කිරීම : 2012 නොවැම්බර් 3 සෙනසුරාදා - 18:38 GMT
බීබීසී සංදේශය සිංහල
විධායකයේත් අධිකරණයේත් ක්‍රියාකලාපය ගැන කිසිවෙකුටත් ආඩම්බර විය නොහැකි යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි ප්‍රකාශ කරයි.
අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ තත්වයට විධායකයත් අධිකරණයත් දෙකම වග කිව යුතු බවයි.
විධායකය විසින් අගවිනිසුරුවරියගේ ස්වාමියාට රාජ්‍ය ආයතනයක සභාපතිධුරයක් ලබාදීමට ඉදිරිපත්වීම මෙන්ම එය පිළිගැනීමත් අනුමත කල නොහැක්කක් බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි පැවසුවේ.
"දෙපාරශ්වය අතින්ම වැරදි සිදුවී ඇතිමුත් වඩාත්ම වරද කර ඇත්තේ අධිකරණ සේවා කොමිසම "
ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි
එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට තිබුණු බව ඔහු ප්‍රකාශ කළේය. එවැනි තනතුරු ලබා ගැනීම හේතුවෙන් යුක්තිය නිසියාකාරයෙන් ඉටු කිරීමට හැකිද යන්න ප්‍රශ්ණකාරී එකක් බව ඔහු පැවසුවේය.
දෙපාරශ්වය අතින්ම වැරදි සිදුවී ඇතිමුත් වඩාත්ම වරද කර ඇත්තේ අධිකරණ සේවා කොමිසම බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරයා විසින් ඔවුන් කැඳවූ අවස්ථාවේදී තම ප්‍රශ්ණ විසඳා ගත යුතුව තිබුණු බව කියා සිටි ඔහු අධිකරණය හමුවේ ඇති ගැටළු පුවත් පත් වල පල කිරීමට ප්‍රථමයෙන් විසඳා ගැනීමට ඉඩකඩ තිබුනු බව ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයට විසඳා ගැනීමට තිබු ප්‍රශ්ණයක් අනවශ්‍ය දුරකට ගොස් අද තත්වය දක්වා වර්ධනය වී ඇති ආකාරයක් දකින බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි තවදුරටත් කියා සිටියේ.
ව්‍යවස්ථාදායකය විධායකය මගින් පාලනය වෙන තත්වයක් තුල, අගවිනිසුරුවරියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවේ සාධාරණ විමර්ශනයක් ලබා ගැනීම පිළිබඳව ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු විධි විධාන අධිකරණයට අහිතකර ලෙස බලපාන්නේ නම් ඒ පිළිබඳව පියවර ගත යුතුව තිබුනේ අධිකරණය විසින්ම බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.