ක්‍ෂය යනු දිගුකාලීන වත්කමක වටිනාකමින් නිශ්චිත ප්‍රතිශතයක්, සෑම වර්ෂයකදී ම වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයට ඇතුලත් කිරිම වේ.
දිගුකාලීන ස්ථාවර වත්කමක් ක්‍ෂය කිරීමට ප්‍රධාන හේතු මෙසේය.
1. නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීම සදහා ස්ථාවර වත්කම් දායක කරගැනීමේ වියදම හදුනාගැනීම.
මෙසේ නොකළහොත් ආයතනය උපයනු ලබන ආදායම් ඉපයීම සදහා වැය කරන ලද නිවැරදි වියදම ගණනය නොවේ. එවිට ලාභය අධි තක්සේරු වනු ඇත.
2. ස්ථාවර වත්කම ගෙවී යාමෙන් පසු නැවත මිලදී ගැනීම සදහා මුදල් රදවාගැනීම.
ක්‍ෂය වියදමක් ලෙස ලාභාලාභ ගණනයේදී ඇතුලත් නොකළහොත් ඇතැම්විට එම ප්‍රමාණය ලාභාංශ වශයෙන් මුදල් මාධ්‍යයෙන්ම පිටතට ඇදී යනු ඇත. එවිට කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගිය වත්කම මිලදී ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවිය හැකිය.
ක්‍ෂය කිරිමේ ප්‍රධාන හා ප්‍රකට ආකාර 2ක් පවතියි.
1. සරල මාර්ග / පිරිවැය මත ක්‍ෂය ක්‍රමය.
2. හීනවන ක්‍ෂය ක්‍රමය / ශුද්ධ අගය මත ක්‍ෂය ක්‍රමය
1.සරල මාර්ග / පිරිවැය මත ක්‍ෂය ක්‍රමය.
ජංගම නොවන එනම් දිගුකාලීන වත්කමක් මිලදි ගැනීමට වැයකළ පිරිවැයෙන්, එම වත්කම භාවිතා කර අවසන් වූ පසු ඉතිරිවන සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල අඩුකළ පසු ලැබෙන අගය, එම වත්කම භාවිතයට ගැනීමට අපේක්ෂිත වසර ගණනින් බෙදීමෙන් වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය ගණනය කරනු ලබයි.
වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය = (වත්කමේ පිරිවැය - සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල)/වත්කම භාවිතා කළහැකි වසර ගණන
මෙහිදී සැම වර්ෂයකම ක්‍ෂය ප්‍රමාණය සමාන වේ. ක්‍ෂය වියදම වාර්ෂික ආදායම් ප්‍රකාශය තුලට ඇතලත් කරනුයේ වත්කම භාවිතා කළහැකි වසර ගණන පුරාවට පමණි. පහත උදාහරණය බලන්න.
ABC සමාගම 2013/1/1 දින රු.600,000 වටිනා යන්ත්‍රයක් මිලදී ගෙන ඇත. මෙම යන්ත්‍රය වසර 5ක් භාවිතා කිරිමේ හැකියාවක් ඇති අතර වසර 5ක් අවසානයේ දී ගෙවීගිය යන්ත්‍රය රු.100,000 කට විකිණිය හැකිය. 2013/12/31 න් අවසන් වර්ෂය සදහා වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය ගණනය කරන්න. (යන්ත්‍රයේ මිල නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන්න.)
වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය = (වත්කමේ පිරිවැය - සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල)/වත්කම භාවිතා කළහැකි වසර ගණන
=(600,000 - 100,000)/5
=500,000 / 5
=රු.100,000
2013 වර්ෂය සදහා ක්‍ෂය ප්‍රමාණය රු.100,000 කි. මෙලෙස වත්කම භාවිත කර අවසන් වනතෙක්, එනම් 2013 සමග වසර 5ක් පුරාවට රු.100,000 බැගින් ක්‍ෂය කල යුතුය.
2013 = රු.100,000
2014 = රු.100,000
2015 = රු.100,000
2016 = රු.100,000
2017 = රු.100,000
එකතුව = රු.500,000
2013 සිට 2017 තෙක් ක්‍ෂය වියදම, 2013 සිට 2017 දක්වා වූ ආදායම් ප්‍රකාශවලට ඇතුලත් කරමින් එම සම්පුර්ණ කාලපරිච්ජේදයේ සම්පුර්ණ ලාභයෙන් රු.500,000ක ප්‍රමාණයක්, ලාභය වශයෙන් සටහන් වීමට ඉඩ නොදී රඳවාගෙන ඇත. එනම් ලාභාංශ වශයෙන් මුදලින් ගෙවීම වලක්වා ගෙන ඇත. ඒ අනුව 2017 වර්ෂය අවසානයේ රු.500,000 ක මුදලක් ඉතිරිකරගෙන ඇත.
2017/12/31 වන විට මෙම යන්ත්‍රය භාවිතා කර අවසන්ය. එය තවදුරටත් කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවේ. දැන් මෙවැනිම යන්ත්‍රයක් නැවත මිලදී ගැනීම කල යුතුය.
යම්හෙයකින් එම යන්ත්‍රයම භාවිත කළහොත් ඉතා විශාල නඩත්තු වියදම් දැරීමට සිදුවනු ඇත. තව ද, විටින් විට එහි ක්‍රියාකාරිත්වය ඇනහිටීම නිසා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ද අතරමග නතර විය හැකිය. එය ඉතා අවාසිසහගත තත්ත්වයකි.
යන්ත්‍රයේ මිල, ගැටලුව තුල සඳහන් වන පරිදි 2017/12/31 දිනට ද රු.600,000ක් වේ.
වාර්ෂිකව ක්‍ෂය කිරීම තුලින් රු.500,000 ක මුදලක් ඉතිරිකරගෙන ඇත. එසේනම් ඉතිරි රු,100,000 ක මුදල සපයා ගන්නේ කෙසේද?
ගැටළුවක් නැත. පැරණි යන්ත්‍රයේ ඉතිරි වී ඇති සුන්බුන් විකුණා රු.100,000 ලබාගත හැකිය. ඒ අනුව නව යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය සම්පුර්ණ මුදලම ආවරණය කරගෙන ඇත.
----------------------------------------------------------------------------------------------------
හීනවන ක්‍ෂය ක්‍රමය පසුවට සාකච්ඡා කරමු.