ලෙඩෙත් දී බෙහෙතුත් දෙන කෘෂි රසායන මාෆියාව
මහවැලි කුඹුරුවලට කොපුමයිටා හෙනහුරා කඩාපනී
දෙවැනි ලෝක සංග්‍රාමයේදී අමානුෂික යුද කටයුතු සඳහා භාවිත කළ රසායනික නිෂ්පාදන පසු කලෙක බලවත් රටවල ආර්ථික උපායමාර්ගයන්ට මුසුව බහුජාතික සමාගම් මගින් තුන්වැනි ලෝකයේ රටවල කෘෂිකර්මාන්තයට ඇතුළත් කෙරිණි. එයින් නොසිතූ විරූ ලෙස කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ පිබිදීමක් ඇති වූ බව සැබෑවකි. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල ආහාර සහ කෘෂිකර්මාන්ත ක්‌ෂේත්‍රය අනියමින් පාලනය කරන මෙකී සමාගම්වල නියම ස්‌වරූපය හෙළිවන්නට ගත්තේ ඊට බොහෝ කලකට පසුය. එවිට එම සමාගම් එක්‌කො එම දුප්පත් රටවල ආණ්‌ඩුවටත් වඩා බලවත්ව තිබිණ. නැතිනම් ඔවුන්ගේ අඬු බඬුවලට හසුවූ ක්‌ෂේත්‍රය එම සාපයෙන් ගැලවී යා නොහැකි තැනට තල්ලු වී තිබිණ.
මේ වන විට ගොවිකම දිවිමග කරගත් අපේ රටේ ගොවියාගේ ඉරණම තල්ලු වී ඇත්තේද එතැනටය. අප එසේ කියන්aනෙ රජරට වකුගඩු රෝගයට මුල බහුජාතික සමාගම්වල කෘෂි රසායන භාවිතය නිසා බව හෙළිවීම නිසා නොවේ. දුප්පත් රටවල කෘෂි කර්මාන්තය දියුණු කිරීමට යෑයි පවසමින් එම රටවලට වස විස පටවන බහුජාතික සමාගම්වල නිරුවත හෙළිව ඇති නිසාද නොවේ. අපේ වී ගොවියාගේ අන්තිම රීරි මාංශයද උරාකන බහු ජාතික සමාගමක අලුත්ම කෙරුවාවක තොරතුරු හෙළිවෙමින් පවතින බැවිනි.
මේ වන විට අපේ රටේ පුරවැසියන් ගතයුතු ආහාර තීරණය කරන්නේද ගොවියා වගා කළ යුතු බෝග වර්ග ගැන උපදෙස් ලබා දෙන්නේද පෙර කී බහු ජාතික සමාගම් බවට රහසක් නොවේ. එවැනි වාතාවරණයක් මැද මහවැලි සී කලාපයට අයත් රත්මල්කණ්‌ඩිය ගොවියෝ - මේ රටේ කෘෂිකාර්මික වෙළෙඳපොළේ නම් දරා සිටින සමාගමකින් බිත්තර වී ලබාගෙන කුඹුරු අස්‌වද්දති. පසුව ටික කාලයකින් තම වගාව පිළිබඳ අවධානයෙන් සිටින ගොවීන්ට දක්‌නට ලැබෙන්නේ කිසියම් රෝගයක් ඉතා සීග්‍රයෙන් වගාව (ගොයම) ආක්‍රමණය කරමින් පැතිර යන බවකි. එය ගොයමට වදින කොපුමයිටා රෝගය බව ඇතමුන් මුලදීම හඳුනා ගනී. නමුත් රත්මල්කණ්‌ඩිය ගොවි සංවිධානය වන රන්දැත ගොවි සංවිධානය මේ ආපදාව පිළිබඳ පූර්ව නිගමනයකට නොගොස් මේ බව බීජ ලබාගත් බහු ජාතික සමාගමට ලිතව දැනුම් දෙයි. ඒ කරුණු කිහිපයක් පදනම් කරගෙන අදාළ සමාගමට මේ පිළිබඳ සොයා බැලීමේ වගකීම තිබෙන බව පැහැදිලි කරමිනි. ඒ අතර,
රත්මල්කණ්‌ඩිය ගොවි සංවිධානයේ කෙත් ඇලවල් හතකට අයත් කුඹුරු නවයක මෙම රෝගය දැකිය හැකිවීම, එම කුඹුරු නවයේම ගොවීන් බීජ ලබාගෙන ඇත්තේ එකම ආයතනයකින් (අදාළ සමාගමෙන්) වීම සහ සුළඟ, ජලය, භාවිත කරන කෘෂි උපකරණ මගින් වෙනත් කුඹුරුවලට මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඒ කරුණු අතර වෙයි. නමුත් 2013 ජූලි 11 වැනිදා ගොවි සංවිධාන යොමු කරන මේ ලිපියට අදාළ සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදක්‌වා තිබේ. මේ නිසා නැවතත්, අගෝස්‌තු 26 වැනිදා ලිපියක් යොමු කරන ගොවි සංවිධාන අදාළ ආයතනත්, මහවැලි සී කලාපයේ නේවාසික කළමනාකාරවරයාත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාත් දැනුවත් කරන්නේ බිත්තර වී ලබාගත් බහුජාතික සමාගමේ නමද හෙළි කරමිනි.
එය අදාළ සමාගමේ ඇස් ඇරවීමට හේතු වුවත් ඊට පසුද ඔවුන් සිදුකළේ ගොවීන්ව රැවටීම බව රන්දැත ගොවි සංවිධානයේ සභාපති බණ්‌ඩාර ගොවි මහතා මේ කියන කතාවෙන් වැටහේ.
අපේ කුඹුරුවල මේ රෝගය වැළඳිලා කියල සැකයක් ඇතිවුන ගමන් අපි අදාළ ආයතනයට ලිතව දැනුම් දුන්නා. කෘෂිකර්ම නිලධාරියාගේ ඉඳල මේ පළාතේ ඒ සම්බන්ධව ඉන්න රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. අදාළ ආයතනය මේ ගැන සොයා බලන්න කියල දැනුවත් කළත් ඔවුන්ට මේ ගැන වගකීමක් තියනවා කියල කිව්වෙත් හේතුවක් ඇතිවයි. කොපුමයිටා රෝගය වැළඳිලා තියෙන කුඹුරු නවයම අස්‌වද්දල තියෙන්නෙ අදාළ ආයතනයෙන් ගත්ත වී වලින්. අපි මේක කිව්වාම ඒ ආයතනය මහවැලි බී කලාපයේ තියන කුඹුරු පිරික්‌සා අපිට කියනවා මේක දිලීර රෝගයක් කියල. අපේ කුඹුරු තියෙන්නේ මහවැලි සී කලාපයේ. සී කලාපයේ කුඹුරුවලට රෝගය වැළඳිලා තියෙද්දී බී කලාපයෙ කුඹුරු පරීක්‍ෂා කරල තීන්දු දුන්නම හරියනවද? ඒ නිසා අපි කෘෂිකර්ම නිලධාරි මහත්තයා ගෙන්නල ගොයම පරීක්‍ෂා කෙරෙව්වා. ගොයමට වැළඳිලා තියෙන්නෙ කොපුමයිටා රෝගය කියල. කෘෂිකර්ම නිලධාරි මහත්තයත් තහවුරු කළා.අපි මේ කියන්නෙ වගකීමක් ඇතිව. මේ රෝගය ඔය කුඹුරුවල හැර වෙනත් කොහෙවත් තියෙනවා කියල අපිට අහුවුණෙත් නෑ. කෘෂිකර්ම නිලධාරි මහත්තයා ඒ අවට ගොයම් පිරික්‌සා බැලුවත් ඒ තැන්වලින් රෝගය තියනවා අහුවුණේ නෑ. දැන් මේ ඔක්‌කොම හෙළිකර ගත්තට පස්‌සෙ මේ බිත්තර වී දුන්න ආයතනය (බහු ජතික සමාගම) අපිට කියනවා අපේ ගොයමට කොපුමයිටා රෝගය ආවොත් සී ක්‍රෝන් කියන රසායනික තෙල් ඉහින්න කියල. ඒ සීක්‍රොන් කියන රසායනික තෙල් ගෙන්නන්නෙත් එයාලගෙම සමාගමයි. එයාලා ලෙඩෙත් දීලා අපිට බෙහෙතුත් දෙනවා. ඒක තමයි මෙයාලගෙ ව්‍යාපාරෙ.
බණ්‌ඩාර ගොවි මහතා වේදනාවෙන් වුවත් මේ හෙළිකරගන්නෙ දැන්වත් ජාතියට ඇස් හැර බැලිය යුතු බරපතළ කාරණයකි. මේ වන විට රෝගය වැළඳී ඇත්තේ කුඹුරු නවයක ගොයමට වුවත්, කොපුමයිටාව, සුළඟින්, ජලයෙන් සහ කෘෂි උපකරණ මගින් වෙනත් කුඹුරුවලටද ව්‍යාප්ත වීමේ අවදානම පවතී. එවිට කෘමීන් නොවන ඇකරිනා ගෝත්‍රයට අයත් සත්ත්ව විශේෂයක් වන මෙමගින් වී වගාවක අස්‌වැන්නට සිදුවිය හැකි හානිය සියයට පහත් අනූ පහත් (5% - 95%) අතර බරපතළ මට්‌ටමක් බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. රෝගයේ ඇති ඉතා නරකම තත්ත්වය නම් මේ මයිටාවන් ගොයමට වැදී ඇති බව පියවි ඇසින් නිරීක්‍ෂණය කළ නොහැකි වීමයි. රෝගය මුල් අවස්‌ථාවේ හඳුනා ගත හැකි එකම ක්‍රමය වෙන්නෙ බණ්‌ඩි අවස්‌ථාවේ සිට වරින් වර පත්‍ර කොපුව තුළ පරීක්‍ෂාකර (16 වතාවක් විශාලනය කර බැලිය යුතුය) බැලීමෙනි. මේ නිසා අපේ අහිංසක ගොවියාට රෝගය හඳුනාගත හැකි වන්නෙ මයිටාව වැළඳී ගොයම වර්ධනය වුවාට පසු මයිටාවන් වී කරලේ යුෂ උරා බී වී කරල් අර්ධව හෝ සම්පූර්ණයෙන් වඳ වූවාටද පසුවයි. මේ නිසා ගේ දොර උකස් කර බැංකුවලින් ණය ගෙන ගොවිතැන් කරන අපේ ගොවියාට සිදුවන්නෙ අස්‌වැන්න රැක ගැනීමට වෙන මගක් නැති නිසා නැවතත් කෘෂි රසායන සඳහා අතේ තියන තුට්‌ටුව බහුජාතික සමාගම්වලට පිදීමටය.
තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් වන අප දශක කිහිපයක් තිස්‌සේ සිරවී හිඳින්නේ බහු ජාතික සමාගම්වල මේ චක්‍රීය ලෙඩත් දී
උගුලේය. ඇත්තෙන්ම අප පමණක් නොව ලොව අප වැනිම දිළිඳු රටවල් බොහොමයක් සිරවී හිඳින්නෙ මේ උගුලේය. මීට දෙවසරකට පෙර පිලිපීන පළිබෝධ විරෝධී ජාලයේ සභාපති ආචාර්ය රෝමියෝ ක්‌වත්තෙ බහුජාතික සමාගම්වල කෘෂි රසායන මාµsයාව නිසා සිදුවන හානිය ගැන ලොවට හෙළි කළේය. ඔහු අනාවරණය කරන්නේ වසරකට 3,35000 ක පිරිසක් රසායන විෂවීම නිසා මිය පරලොව යන බවය. මෙහි අතුරු ආබාධ වලින් පීඩා විඳින සංඛ්‍යාව මිලියන 41 වඩා වැඩිය. මේ විෂ රසායන ලොව පුරා බෙදාහරින ලොව විශාලම කෘෂි රසායන කර්මාන්ත හයම ක්‍රියාත්මක වන්නේ රටවල් තුනක් නිජබිම කරගෙනය. ඒ ඇමරිකාව ජර්මනිය සහ ස්‌විස්‌ටර්ලන්තය නිජබිම කොටගෙනයි. නමුත් අප තේරුම්ගත යුතු වැදගත්ම දේ නම් මේ සමාගම් බොහෝ කෘෂි රසායන නිෂ්පාදන ඒවා සැදූ මවු රටවලද තහනම් කර ඇත. නිදසුනක් ලෙස සිංජෙන්ටා සමාගම නිෂ්පාදනය කරන "පැරකොට්" කෘෂි රසායනය ස්‌විට්‌සර්ලන්තයේ භාවිතය තහනම්ය. එහෙත් එම රසායන පවා කිසිදු බාධාවකින් තොරව ඔවුන් අද තුන්වැනි ලෝකයේ රටවල යහමින් අලෙවි කරන්නේය.
අද අපේ රටේ වී ගොවිතැනේ බීජ වෙළෙඳපොළේ වැඩි කොටසක හිමිකාරිත්වය දරන්නෙ ලොව බීජ වෙළෙඳපොළේ ප්‍රධාන දස දෙනා අතර හිඳින මෙකී සමාගමකි. මේ නිසා අපේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේද පාරම්පරික වී ගොවිතැන තුළද දැන් ඔවුන්ට සිතූ පරිදි කරණම් ගැසීමේ හැකියාව ඇත. මේ ලිපියේ පෙර සඳහන් ගොවි මහතා කී ලෙසට බඩුත් සමග ලෙඩෙත් දී බෙහෙතුත් දීමේ හැකියාව ඇත. පසුගිය දසක දෙක පුරා අපි අත්විඳිමින් විඳවන්නෙ මේ යථාර්ථයය. නමුත් අපි තවමත් නොදැනුනා සේ සිටින්නේද ඔය ටිකය. ක්‍රමිකව සංවිධානගතව සිදුවන මෙවැනි අපරාධයක ප්‍රතිඵලය වනුයේ මුළු මහත් සමාජයම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවීමය. මෙවැනි උවදුරකින් සිදුවන හානිය යුද්ධයකින් වන හානියට වඩා වැඩිය. යුද්ධයකදී වැඩි වශයෙන් විනාශ වන්නේ වර්තමානයේ පවතින දැය. එහෙත් මෙයින් අපේ වර්තමානයත්, අතීතයත් අවසානයේ අනාගතයත් විනාශ වනු ඇත.
තිස්‌ස ගුණතිලක
ඡායාරූප - ප්‍රසන්න සිල්වා