වතු කම්කරු කාන්තාවක් තේ දළු නෙළමින් රුපියල් 57395.25 වාර්තාගත වැටුපක් ඊයේ (10 දා) ලබා ගත්තාය.
.කොටගල වැවිලි සමාගමට අයත් පතන "මවුන්ට් වර්නන්" තේ වත්තේ 51 හැවිරිදි ශාන්ති කුමාරි නමැති සිවුදරු මවක් මැයි මස තේදළු නෙළීම සඳහා මෙසේ වාර්තාගත වැටුපක් ලබාගත් බව එම වතුයායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පවසයි.
වතු කම්කරු කාන්තාවක් දිනක වැටුපට අමු තේ දළු කිලෝ 18 ක් නෙළිය යුතු අතර මෙම කාන්තාව ඊට අමතරව මැයි මාසය සඳහා අමතර තේ දළු කිලෝ 1899 ක් නෙළමින් මෙම වාර්තාගත වැටුප ලබා ගැනීමට සමත්ව ඇත.
ඉකුත් මාස කීපය තුළ තේ වගාවට උචිත කාළගුණික තත්ත්වයක් පැවති නිසා අමු තේ දළු පලදාව වැඩි වූ බවත්, එම තත්ත්වය මත මෙම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් රැසක් තම වතුයායේ සමස්‌තයක් ලෙස ඉකුත් මාසය සඳහා රුපියල් 30,000 ක වැටුපක් ලබා ගැනීමට සමත් වූ බවත් වතු කම්කරුවන් තේ කර්මාන්තය තුළ ලැදියාවකින් නිරත වන්නේ නම් රටේ තේ ආර්ථිකය ඉහළ තැනකට යනවා මෙන්ම වතු කම්කරු ප්‍රජාවගේද ජීවන තත්ත්වය ඉහළ යන බව වතු අධිකාරී අර්ජුන මැදගම මහතා වැඩිදුරටත් පැවසීය. මේ පිළිබඳ අදහස් දක්‌වමින් ශාන්ති කුමාරි කාන්තාව කියා සිටියේ ඇතැම් වතු කම්කරු කාන්තාවන් ඉහළ වැටුපක් ලබා ගැනීමේ අරමුණින් විදේශ ගත වන බවත් තේ ගසට සැබෑ ලෙස ආදරය කරමින් වතු රැකියාවේ නිරත වන්නේ නම් විදේශ ගතවී ලබන වැටුපට වඩා වැඩි වැටුපක් ලබා ගත හැකි බවයි. වැඩි වැටුපක් ලබන කාන්තාවන්ට මෙහිදී වතු පාලනාධිකාරිය මගින් තිළිණ බෙදාදීමක්‌ද සිදු කෙරිණි.