එම සමස්ථ කොටස් අගය ඉහල යන විට ණය ගැත හැකි සීමාව වැඩි වන බැවින් තව තවත් කොටස් මිලට ගත හැක.
බැංකුව හෝ ණය දෙන ආයතනය ඔබට ලබා දෙන සම්පූර්ණ මුදලට දිනපතා පොලියක් එකතු වේ.
ඔවුන් ගේ ආදායම එයයි. මෙම පොලී ප්‍රතිශතය සාමාන්‍ය දේපල ණය ට වඩා වැඩිය.
කොටස් අගය පහල යන විට එයට සාපේක්‍ෂ ලබා ගත හැකි ණය සීමාවත් පහල යන නමුත් කලින් වැඩි කොටස් අගයක් සඳහා ඔබ ලබාගෙන තිබූ ණය එලෙසම පවතී. ඔබ ලබාගෙන තිබූ ණය සමස්ථ කොටස් වල අගය ට ලබා ගත හැකි ණයට වඩා වැඩි වූ විට මාජින් කෝල් එයි. එනම් ඒ අඩු වූ අගය මුදලින් ගෙවන ලෙසය. නැතහොත් කොටස් විකුණා හෝ ණය පියවන ලෙසය.
කොටස් අගය පහල යන වාරයක් පාසා මේ කරුමය එයි. වෙළෙඳපල අනාගතය ගැන කල් තියා හඳුනාගෙන වහාම ක්‍රියා කාරී වී පාඩුවට විකුණා හෝ මුලින් ම ණය අවම කර ගත්තේ නැත්නම් අවසානය අන්ත අසරන තත්ත්වයට වැටේ. දිගින් දිගටම මේ පහල යාම පැවතියහොත් ඔබ සතු සියලු කොටස් විකුණා වූවද ණය ගෙවීමට මුදල් මදිවේ. ඒ කොටස් මිල පහලටම වැටී ඇති බැවිනි.
ණය ගැනීමේ දී 80 ට තිබූ කොටසක් සඳහා (ඉන් 50%) රුපියල් 40 ක් ණය ගෙන කොටස් ගත්තේ නම් කොටස් මිල 25 ට වැටෙන තෙක් බලා සිටිය හොත් 40-25 = 15 ක් තව අතිනුත් ගෙවීමට සිදුවේ.
මේ ඉහත දැක් වූයේ ණය දෙන ආයතන සමග කරන මාජින් ගනුදෙනු වල අවදානම් පැත්තය.
නමුත් මා මේ කියන්න හදන්නේ එය ගැන නොවේ.
වැටෙන මාකට් එකකදී සාමාන්‍ය මාජින් ප්‍රශ්නය කෙලින්ම බලපාන්නේ මාජින් ණය ගත් අයට පමණයි. අනිත් අය ට ඉන් තමන් නැත්තටම නැතිවන හානියක් නැත. නමුත් වක්‍ර හාණියක් ඇත . ඒ මාජින් කෝල් නිසා තවත් වැටෙන කොටස් මිල අනිත් අයගේ වත්කම් අගයද අඩූ කරන බැවිණි.
නමුත් වෙනත් ආකාරයක කාටත් බලපාන මාජින් කෝල් එකක් නිසා දිගින් දිහටම වැටෙන මාකට එකකදී ණය ගත් නොගත් අය ඇතුලු සියලු දෙනාට අපල කාලයක් ඒමේ හැකියාවක් ඇත.
දැන් දැන් අපේ කොටස් වෙළෙපලේ වැඩියෙන් යෙදුන මැදි වයස් අයට මේ ගැටලුව බල පා ඇති බව ඒ අයගේ කතා වලින් හෙලිවේ.
ඔවුන් බොහෝ දෙනෙක් තමන් සතු විශාල අත්දැකීම් මත කොටස් වෙළෙඳපලෙන්ම එදිනෙදා වියදම් සඳහා ආදායම් ලැබූ අය වූහ. මාසයකට දෙකකට වරක් ජීවත් වීමට හෝ අමතර වියදම් පියවා ගැනීමට හෝ සෑහෙන ආදායමක් ලැබෙන සේ ගනු දෙනුවක් කිරීමට සමත් වු අය බොහෝ සිටිති. ඒ බොහෝ විටම මිල අඩුවෙන් ගත් කොටස් තම එදිනෙදා අවශ්‍යතා ඇතිවූ විට විකිණීමෙනි.
මේ අය යම් මුදල්ප්‍රමාණයක් තැන්පතු ලෙස තබගෙන ඉතිරි මුදල් කොටස් වෙළෙඳපලේ ආයෝජනය කරති. මුදල් අවශ්‍ය වූ විට ඉහල ගොස් ඇති කොටසක් විකුණා ඒ අවශ්‍යතාව අටු කර ගනිති.
පසුගිය 2015 මුල සිට කොටස් වෙළෙඳපල වැටෙන ගතියක් පෙන් වූ නමුත් බැංකු තැන්පත් තිබීම නිසා මේ අයට එතරම් බරක් නොදැනුන අතර කොටස් අඩු මිලට නොවිකුණා සිටීමට හැකි වීය.
නමුත් දැන් ඒ බොහෝ අය හිතුවාටත් වඩා කාලයක් වැටෙන මාකට් එක පවතින අතර තමන් සතු තැන්පත් ධනය හීන වෙමින් පවතින බව පවසති.
දැන් සිදුව ඇත්තේ තම කොටස් කෙසේ හෝ අඩු මිලට හෝ විකුණා මුදල් සොයා ගැනිමය. මේ බොහෝ දෙනෙක් තම බෙහෙත් ආදිය මිලට ගැනීම සඳහා හා වෛද්‍ය ප්‍රතීකාර සඳහා මුදල් අවශ්‍යව සිටිති.
පසු ගිය දිනවල සමහර අයට අඩු මිලට විකුණා ගැනීමටවත් ගැනුම් කරුවන් නොසිටියබව කියති. එක් මහත්මයෙක් රුපියල් 80,000 ක් පමණ අවශ්‍යවී ඉතාම පාඩුවට වටිනාකොටස් ප්‍රමාණයක් විකිණීමට උත්සාහ කල අතර පසුගිය සති අන්තය වනවිට ඔහුට විකුණා ගත හැකි වූයේ 20,000 ක පමණි. අද ඉතිරි කොටස් තවත් අඩූ වෙන් හෝ විකුණා මුදල් ලබගැනීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
අද කුමක් සිදු උනා දැයි නොදනිමි.
මෙය සමස්ථ වෙළෙඳපලම වසා ගත් නවතම වර්ගයේ මාජින් කෝල් එකක් ලෙස පෙනේ.
මෙම තත්ත්වය ණය ගත් සීමිත ප්‍රමාණයක අයට නොව කොටස් වෙළෙඳපලේ ආයෝජනය කළ බොහෝ සාමාන්‍ය ජනතාවට ඇති වෙමින් පවතින නිසා එය මිළ ගණන් තවත් පහලට ඇද දැමිය හැකි වඩාත් භයානක තත්ත්වයකි.