පසුගිය ඉරිදා උදෑසන පුත්තලම ලක්විජය බලාගාරයේ ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු තාවකාලිකව නතරකර දැමීමට සිදුවිය.
පවතින තත්ත්වය අධ්‍යනය සඳහා විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන බලාගාරය නිරීක්ෂණයට එක්වූ බව විදුලි බල අමාත්‍යංශය කියයි.
සිදුවී ඇති තත්ත්වය අධ්‍යයනය කර, නැවතත් බලාගාරය යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශීය කාර්මිකයන්ගෙන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් තුනක් ක‍්‍රියාත්මක වූ අතර මේ වනවිට ඔවුන්ගේ නිරීක්ෂණ අවසන් කර, දෝෂය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹ තිබෙන බව සඳහන්ය.
එනම් බලාගාරයේ බොයිලේරුවේ ඉකොනොවයිසර් කොටසේ පවතින ටියුබ් දහස් ගණනකින් එක් ටියුබයක අඟල් 05ක පමණ සිරස් පැල්මක් සිදුවීම මත එම ටියුබය ඔස්සේ ගෙනයන ජලය කාන්දුවීමකට ලක්වීමෙන් බලාගාරයේ මෙම හසිදි දෝෂය හටගෙන තිබේ.
මෙම ටියුබ මගින් සිදුකෙරෙනුයේ බොයිලේරුවේ පීඩනය රඳාපවත්වා ගනිමින් නිෂ්පාදනය කෙරෙන හුමාලය ජනන තලබමනය වෙත රැගෙන යාමයි. මෙම තත්ත්වය අඩපණ වීම මත බොයිලේරුවේ පීඩනය විටින්විට අඩුවීමට ලක්වී ඇත. එම තත්ත්වය පදනම්ව පසුගිය 22 ඉරිදා අළුයම බලාගාරය අඩපණ විය.
මේ වනවිට දේශීය කාර්මිකයන්ගේ මැදිහත්වීමෙන් අදාල බටයේ පැලී ඇති කොටස කපා ඉවත්කර, ඒ වෙනුවට නව බටයක් දැමීමට කටයුතු කරමින් පවතින බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
බලාගාරයේ පාලනාධිකාරිය පෙන්වාදෙන අන්දමට හෙට මධ්‍යහ්නය වනවිට එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමකිරීමට හැකිවෙනු ඇත. බලාගාර බොයිලේරුවේ පීඩන තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නැවතත් බලාගාරය පණගැන්වීමට හැකිවනු ඇතැයි බලාගාර පාලනාධිකාරිය කියා සිටී.
ලක්විජය බලාගාරයේ ඇතිවූ මෙම හදිසි කාර්මික දෝෂය හේතුවෙන් ජාතික පද්ධතියට ලැබෙමින් තිබූ මෙගාවොට් 300 ක ධාරිතාවය අහිමිවූ අතර මේ වනවිට සිදුකෙරෙන තාවකාලික විදුලි කප්පාදුවට මෙම තත්ත්වය හේතුවිය. ඒ අනුව, බලාගාර ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවීමත් සමගම මේ වනවිට සිදුකෙරෙන තාවකාලික විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකිවෙතැයි ලංවිම සඳහන් කරයි.
පවතින තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සෑම දෙනාම අත්වැල් බැඳගැනීම කාලෝචිත බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1421860144