ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීම නිසා සපුගස් කන්ද තෙල් පිරිපහදුවට ප්‍රමාණවත් තරම් බොරතෙල් නොලැබීමෙන් තාවකාලිකව පිරිපහදුව වසා දැමීමට සිදුවන බව මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙයට හේතුව ලෙස රජය සඳහන් කරන්නේ සපුගස්කන්දේ පිරිපහදු කළ හැකි ඉරානියන් ලයිට් බොරතෙල් තොග ඇමරිකානු සම්බාධක නිසා ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවයි.
මේ නිසා, නැවතත් තෙල් තොග පැමිණෙන තෙක් දින 10 ක් සඳහා පිරිපහදුව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
තෙල් සංස්ථාව කබලෙන් ලිපට
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා දැවැන්ත අලාභ ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළිත් කබලෙන් ලිපට වැටේ.
එනම්, මෙරට ඛනිජ තෙල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මුළුමනින්ම මෙරටට පිරිපහදු කළ තෙල් ආනයනය කිරීමට සිදුවීම නිසා අති විශාල අමතර මුදලක් දැරීමට සිදුවීම නිසයි.
මීට පෙර, යම් කොටසක් බොරතෙල් ලෙස ආනයනය කළ නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට තෙල් සංස්ථාවට හැකිවිය.
මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පිරිපහදුව වසා දැමීම නිසා ඛනිජ තෙල් ගෙන්වීමට රජයට ඩොලර් බිලියන 1.2 ක අමතර වියදමක් කිරීමට සිදුවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අනාවරණය කළ බවයි.
තෙල් සංස්ථාවේ අලාභය හා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය
පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල ණයබර වැඩිවීම නිසා විදේශ විනිමය මත පීඩනයක් ඇතිවූ අතර එවිට රුපියල බාල්දුවීම වලක්වා ගැනීමට මහ බැංකුව කළේ විදේශ සංචිත දිගින් දිගටම විකිණීමයි.
මේ නිසා, මෙරට විදේශ සංචිතය දියවී යද්දී පැන නැගුණු විරෝධතා හමුවේ මහ බැංකුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදුන් අතර එවිට සිදුවූයේ රුපියල විශාල ලෙස බාල්දු වීමයි.
ඩොලරයක මිල රුපියල් 110 ක පමණ මට්ටමක සිට රුපියල් 130 ක සීමාවට පැමිණියේය.
මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් තොග වෙළඳ පොලට විකිණීමේ ප්‍රවණතාවය තුළ රුපියල මේ වනවිට යම් ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.
කෙසේවෙතත්, මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව අනාවරණය වූයේ පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය විශාල ලෙස අඩුවී තිබුණත් රාජ්‍ය අංශය ලබාගත් ණය වැඩිවී තිබෙන බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඇතිවී තිබෙන අර්බුදය නිසා තෙල් සංස්ථාවේ අලාභය විශාල ලෙස වැඩිවන අතර එය ණයබර තව තවත් වැඩිකිරීමට හේතුවනු ඇත.
මේ නිසා, මෙවැනි ණය බරක් යළිත් විනිමය අනුපාතය මත පීඩනයක් ඇති කිරීම වැලැක්විය නොහැකිය.
ගෑස් මිල නගින ලකුණු
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොරතෙල් පිරිපහදු කිරීම මගින් මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 25 ක් පමණ නිපදවන බව අනාවරණය වේ.
මෙම ගෑස් ප්‍රමාණය මෙරට ගෑස් සමාගම් වලට ලබාදෙන අතර එය ආනයන කරන ගෑස් වලට වඩා මිල අඩුය.
පිරිපහදුව වසා දැමීම නිසා ගෑස් සමාගම් වලට සම්පූර්ණයෙන්ම ගෑස් ආනයනය කිරීමට සිදුවන නිසා සමාගම්වල පිරිවැය වැඩිවී ගෑස් මිල වැඩිවීමටද හේතුවිය හැකිය.
වෘත්තීය සමිතිවල සැකය
ඉරාන තෙල් තොග නොලැබීම නිසා පිරිපහදුව වසා දමන බව රජය පැවසුවත් ඉදිරියේදී බොරතෙල් තොග පැමිණෙනු ඇත්තේ සෞදි ආරාබියෙන් නිසා රජයේ ප්‍රකාශය අතර පරස්පර විරෝධීතාවයක් මතුව තිබෙන බව ඇතැම් වෘත්තීය සමිති විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.
ඉරානය-ඇමරිකාව හා ලෝක ආර්ථිකය
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය දක්වා ඇමරිකාව විසින් පසුගිය කාලයේදී සෙසු රටවලට බලකළේ ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී නොගන්නා ලෙසයි.
මේ නිසා, ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදුවූ අතර ඉරානයේ මේ වනවිට උද්ධමනය අති විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ ඉරානය මේ වනවිට අති උද්ධමනයක් කරා ගමන් කරමින් සිටින බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1737954528