ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්ද්‍රානි සුගතදාස - තිලක් කරුණාරත්න - ආචාර්ය නාලක ගොඩහේවා
මේ වන විට කොටස් වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය බරපතළ ලෙස පිහිරී තිබේ. ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා සහ දැනුවත් ආයෝජක ප්‍රජාවක් ඇති කිරීම සඳහා අධ්‍යාපන හා දැනුවත් කිරීම් කඩිනම් කළ යුතු බවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඇතුළු බලධාරීන් හඳුනාගෙන තිබුණත් ඒ සඳහා වන ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල බරපතළ පරස්‌පරතාද දක්‌නට ලැබෙයි. එම පරස්‌පරතා හේතු වනු ඇත්තේද කොටස් වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය තවත් පළුදු කිරීමට මිස වර්ධනය කිරීමට නොවේ. කවරක් නමුත් කොටස් වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩ නැගීමට නම් මාධ්‍යයද ඇතුළු කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පුළුල් මෙහෙයුමක් (වැඩපිළිවෙළක්) දියත් කළ යුතුව පවතී. එහෙත් එහිදී සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් තම නියාමන කාර්යය හරිහැටි ඉටුකරන බවට මහජනතාව වෙත විශ්වාසය තහවුරු කිරීමද අත්‍යවශ්‍ය වේ. මෙවන් පසුබිමක් තුළ පසුබෑමට ලක්‌ව ඇති අපගේ කොටස් වෙළෙඳපොළ සහ ඒ පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැංවීමේ මෙහෙයුම පිළිබඳ මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.
කොටස් වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමට පසුගිය කාලය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් ද ප්‍රබල ලෙස දායක වූ බව කිව යුතුය. කොටස් වෙළෙඳපොළ නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකුටම සිය රාජකාරී කටයුතු කිරීමට එරෙහිව ඇතිවූ දැඩි බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්‌වන්නට සිදුවූ බව අපි දනිමු. ඉන්ද්‍රානි සුගතදාස මහත්මියගේ සහ තිලක් කරුණාරත්න මහතාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් සමස්‌ත ආයෝජක ප්‍රජාවගේ රැකවරණය වෙනුවෙන් පියවර ගනිමින්, කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගත් බව කවුරුත් දන්නා කරුණකි. ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඇයට ඇතිවූ බලපෑම් හේතුවෙන් ඒවාට යට නොවී ඉල්ලා අස්‌වීමට තීරණ කළ අවස්‌ථාවේ, මේ ලියුම්කරුට ප්‍රකාශ කළේ තවදුරටත් හෘදය සාක්‌ෂියට එකඟව ස්‌වාධීනව රාජකාරි කළ නොහැකි නිසා තමා ඉල්ලා අස්‌වන බවයි. ඉන්පසු ඒ තනතුරට පත්වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන තිලක් කරුණාරත්න මහතාටද අත් වූයේ ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට අත්වු ඉරණමමය. කොටස් වෙළෙඳපොළ මාෆියාවෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් තමා ඉල්ලා අස්‌වන බව තිලක් කරුණාරත්න කෙළින්ම ප්‍රකාශ කළේය. එහෙත් ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය සිය ඉල්ලා අස්‌වීම භාරදී නිහඬවම පිටව ගියත් තිලක් කරුණාරත්න එහිදී අනුගමනය කළේ ඊට වඩා වෙනස් පිළිවෙතකි. ඔහු සිය ඉල්ලා අස්‌වීම සතියකට පමණ පෙර නිවේදනය කරමින් ඒ පිළිබඳ පුළුල් ලෙස මාධ්‍යයට කරුණු කීවේය. ජනතාව දැනුම්වත් කළේය. ඒ නිසාම ඒ දිනවල කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ පුළුල් මාධ්‍ය කතිකාවක්‌ද ඇතිවිය. ඔබ කියන කොටස් වෙළෙඳපොළ මාෆියාවේ ඉන්නේ කවුදැයි ඇසු විට හිටපු සභාපති තිලක් කරුණාරත්න එදා මේ ලියුම්කරුට දුන් පිළිතුර මෙසේය.
"කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සිදුකරන ඉතාම සුළු පිරිසක් සහ ඔවුන් සමග අත්වැල් බැඳගෙන ඉන්න සහ ඒ තුළින් විශාල මුදල් උපයා ගන්න කූඨ තැවරුම්කාරයො කීපදෙනෙකුයි මේකෙ ඉන්නෙ. මේ අය එකතු වෙලා කොටස් වෙළෙඳපොළ ඒ අයගෙ අතට ගන්නයි හදන්නේ."
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වත්මන් සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සමග අද ඉතා සමීපව කටයුතු කරන කොමිසමේ ඇතැම් නිලධාරීන් එදා සිටියේ තිලක් කරුණාරත්න මහතාගේ මතය සමගය. එදා ඔවුන් කී දේවල් ද අපට හොඳට මතකය. තිලක් කරුණාරත්න මහතා කියූ කොටස් වෙළෙඳපොළ මාෆියාවේ මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුත් සිටින බවද ඔවුන් කියා සිටි කරුණකි. ජනාධිපතිවරයා විසින්ම පත් කළ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරුන් දෙදෙනෙකුටම ඉල්ලා අස්‌වීමට සිදුවූ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීමට කළ මෙහෙය ගැන කොමිසමේ නිලධාරීහු අපට දුරකථන ඇමතුම් දෙමින්ද අගය කළහ. ඒ නිලධාරීන්ම අද කොටස් වෙළෙඳපොළේ මාෆියාවක් තැනැයිද ඒ වෙනුවට ඇත්තේ කොටස් වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවක් යෑයි ද කියන ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ඉතා සුවච, කීකරුව කටයුතු කරන අයුරු අපට පෙනේ. ඒ තුළ ඇති පරස්‌පරය අපට පෙනුණත් ඒ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්ය. ඔවුන්ට වෙන කරන්නට දෙයක් නැත. පැමිණෙන සභාපතිවරයාගේ නායකත්වය යටතේ ඔවුන් වැඩ කළ යුතුය. එහෙත් ජනාධිපතිවරයා විසින් පත් කළ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්‌වීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයක් ඇතිකළ, යම් පිරිසක් සිටින බව පැහැදිලි කරුණකි. ඔවුන් සංවිධානාත්මක පිරිසක් බවද පෙනේ. නැතහොත් තමන්ව (කොටස් වෙළෙඳපොළ) නියාමනය කිරීමට රටේ ජනාධිපතිවරයා විසින් පත් කළ නියාමන ආයතනයේ ප්‍රධානියා ගෙදර යවන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ නිසා කොටස් වෙළෙඳපොළ මාෆියාවක් නැතැයි වත්මන් සභාපති ආචාර්ය ගොඩහේවා කරන ප්‍රකාශය ඔහු මහජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද? එය අප විශ්වාස කරන්නේ කෙසේද? ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය වූ කලී රජයේ බලගතු නිලධාරිනියකි. ඇයද ඉල්ලා අස්‌වන තත්ත්වයට පත් කිරීමට, තිලක් කරුණාරත්න මහතා මාෆියාව යෑයි හැඳින්වූ පිරිස සමත් වූ බව අප අමතක නොකළ යුතුය. මෙවන් තත්ත්වයක් තුළ සුළු පරිමාණ ආයෝජකයාගේ රැකවණය ගැන විශ්වාසයක් නැත්නම් සහ පවතින්නේ අවිශ්වාසනීය තත්ත්වයක් නම් කොටස් වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය ගොඩනගන්නේ කෙසේද? මෙය අප බරපතළ ලෙස සැලකිය යුතුව ඇති කරුණකි
ඉකුත් නොවැම්බර් 15 වැනිදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් "මාෆියාව" යන වචනය භාවිතයෙන් රටට අනර්ථකාරී ප්‍රතිඵල ඇති වන බවයි. ඒ තුළින් විදෙස් ආයෝජකයන් බියට පත්වන බවයි. ඒ නිසා කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් "මාෆියාව" යන වචනය භාවිතා නොකරන්නැයිද සභාපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් මාධ්‍යවේදීන්ට "මාෆියාව" යන වචනය භාවිතා නොකරන්නැයි කී ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් නව මාෆියාවක් හඳුන්වා දුන්නේය. එනම් කොටස් වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවයි. කොටස් වෙළෙඳපොළ ගැන ප්‍රශ්නයක් තිබෙන බව කතා කරමින් නැති ප්‍රශ්නයක් පුම්බමින් කොටස් වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව ද පසුගිය කාලයේ පත්තර බැලුවොත් එම පිරිස පැහැදිලිවම හඳුනාගත හැකි බව ද ආචාර්ය ගොඩහේවා ඔහුගේ නව මාෆියාව පිළිබඳ අර්ථකථනය මාධ්‍යයට හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේය.
කොටස් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇතැයී කීමෙන් විදෙස් ආයෝජකයන් බියට පත් වෙනවා නම් කොටස් වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවක් අප රටේ සිටින්නේ යෑයි පැවසීමෙන් විදෙස් ආයෝජකයන් බියට පත්වන්නේ නැද්ද? ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍යයට පැවැසීමෙන් එය ලෝකයට යන්නේ නැද්ද? මෙලෙස පරස්‌පර කතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් වූ නිසා මෙහිදී මාධ්‍යවේදීන් ආචාර්ය ගොඩහේවාගෙන් ප්‍රශ්න කළේ මාධ්‍යයට "මාෆියාව" යන වචනය භාවිතා නොකරන්නැයි කියන ඔබම ඒ වචනය භාවිතා කරනවා නොවේද යන්නයි. හුදෙක් ඒ වචනය භාවිතා කරනවාට අමතරව ඔහු ඒ පිළිබඳ තිලක් කරුණාරත්නගේ මාෆියාව පිළිබඳ අර්ථකථනයට වෙනස් නව අර්ථකථනයක්‌ද සපයයි. ඔහුට "මාෆියාව" යන වචනය භාවිතා කිරීමට හොඳවීමත්, මාධ්‍ය ඇතුළු අනිත් අයට නරක වීමත් පුදුම සහගත කතාවකි. අනිත් අතට කොටස් වෙළෙඳපොළ තුළ මාෆියාවක් සිටින බව අපට කීවේ තිලක් කරුණාරත්න මහතා පමණක් නොවේ. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ තවත් අය ද ඒ බව අපට කීවේය. වෙනස වූයේ තිලක් කරුණාරත්න මහතා එය ප්‍රසිද්ධියේ කීමයි. එසේ නම් අද ආචාර්ය නාලක ගොඩහේවාගේ "මාෆියාව" පිළිබඳ නව අර්ථකථනය අනුව ඔහු කියන මාෆියාවේ වැඩි පිරිසක් සිටින්නේ සුරැකුම්පත් හා විනිමය කොමිසම තුළමය. කොටස් වෙළෙඳපොළ තුළ මාෆියාවක් සිටින බවට තොරතුරු දුන්නේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේම නිලධාරීන්ය. තොරතුරු දුන් ඒ පිරිස් කවුදැයි අප කිසිවිටකත් හෙළි නොකරන නමුත් අප කියන මේ කරුණද ආචාර්ය ගොඩහේවාගේ දැනගැනීම පිණිස ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි සිතමු. ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු පැතිකඩ බොහෝය. ඒ ගැන වැඩිදුර කතාබහ ඉදිරියට තබා මීළඟට අපි කොටස් තැරැව්කාර කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම ගැන සාකච්ඡා කරමු.
මේ වසරේ (2012) දී කොටස් තැරැව්කරුවන්ගේ කාර්යසාධනය පහළ ගොස් ඇත. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් සියයට 20 ක පාඩුවක් සහිතව, අඛණ්‌ඩව පහළ යැමක් පෙන්වූ කොටස් වෙළෙඳපොළ නිසා කොටස් තැරැව්කාර ආයතන සියල්ලේම සමස්‌ත ඉපැයීම් මෙන්ම ලාභ සහ ප්‍රාග්ධන අරමුදල්ද මේ වසරේ (2012) පළමු මාස හයේදී අඩුවී ඇත. මෙම අංශයේ සමස්‌ත ආදායම ගිය වසරේ (2011) පළමු මාස හයේදී රු. මිලියන 3542 ක්‌වූ අතර එය මේ වසරේ (2012) පළමු මාස හයේදී රු. මිලියන 994 ක් දක්‌වා සියයට 72 කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය. මේ කාලය තුළ බදු පෙර ලාභයද ගිය වසරේ වාර්තා කළ රු. මිලියන 297 ට සාපේක්‌ෂව මේ වසරේදී රු. මිලියන 443 ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇත. එසේම කොටස් තැරැව්කාර කර්මාන්තයේ සමස්‌ත වත්කම් ඉකුත් ජුනි අවසානය වනවිට රු. බිලියන 10.9 ක් දක්‌වා සියයට 36 කින් අඩු වී තිබේ. මේ අතර, මේ වසරේ පළමු මාස නවය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළට රු. බිලියන 31.5 ක (ඇමරිකානු ඩොලර් මිලියන 243 ක) ශුද්ධ විදේශීය අරමුදල් ගලා ඒමක් සිදුව තිබේ. 2011 වසරේ එම කාලය තුළ තිබුණේ රු. බිලියන 17 ක ශුද්ධ විදේශීය අරමුදල් ගලා යැමකි. තිලක් කරුණාරත්න මහතා කොටස් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇතැයි පැවසීමෙන් පසු මෙසේ අපේ කොටස් වෙළෙඳපොළට ශුද්ධ විදේශීය අරමුදල් ගලා ඒමක් වාර්තාවීමද මෙහිලා විශේෂත්වයක් බව අවසාන වශයෙන් සටහන් කරමි.
http://www.divaina.com/2012/11/25/economic09.html