ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය, ආහාර හා සමාජ ආරක්ෂණ අයිතීන් සුරැකීම පිළිබඳ පිටු 57ක පර්යේෂණ වාර්තාවක් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත්කර තිබේ.
“We are near total breakdown” නැත්නම් ''අපි සම්පූර්ණ බිඳවැටීමක් ආසන්නයේ'' යන තේමාව යටතේ ගොනුකර ඇති එම වාර්තාව මගින් මෙරට ආහාර උද්ධමනය, සෞඛ්‍ය සේවාවේ අඩුපාඩු, ආදායම් අහිමිවීම, පෝෂණ ඌණතා ආදී කරුණු සම්බන්ධයෙන් පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
ආහාර ද්‍රව්‍ය මිල ගණන් සැලකීමේ දී වසරක් තුළ බිත්තර මිල 124.1% කින්ද , පරිප්පු මිල 185.9% කින්ද , අර්තාපල් 125.3% කින්ද, සීනි මිල 151.1%කින්ද ඉහළ ගොස් ඇති බව මහබැංකුව උපුටා දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ දී ඖෂධ මිල 40%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදුන් අතර, අගෝස්තු මස වන විට ජීවිතාරක්ෂක ඖෂධ 2ක් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 188ක හිඟයක් පැවැති බව අදාළ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය ශල්‍ය උපාංග 2,724ක් හිඟව පැවැති බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ සඳහන් වේ.
මිලියන 6.2ක් එනම් ජනගහනයෙන් 28%ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර මිලියන 5.7කට එනම් ජනගහණයෙන් 1/4කට මානුෂීය ආධාර අවශ්‍ය බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.
මෙරට ළමා මන්දපෝෂණය ඉහළ යාම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර එහි දැක්වෙන්නේ ඉහළ යන ළමා මන්දපෝෂණය මගින් දිර්ඝ කාලීන බලපෑමක් ඇතිකරන බවය.
මේ වසරේ ජුනි මාසය වන විට කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට ඇතුළු කළ ළමුන්ගෙන් 1/5 ක් ඌන පෝෂණයේ පෙළුණු අය බවද ඇම්නෙස්ටි වාර්තාව පෙන්වා දෙයි.
https://sinhala.adaderana.lk/news/173297/ලංකාව-ගැන-බය-හිතෙන-වාර්තාවක්-එළියට