ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී, ශ්‍රී ලංකා රජයේ දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්වන බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ “ආර්ථික ඝාතකයන් මැද” යන 2022 සැප්තැම්බර් මාසයේදී රචනා කරන ලද ග්‍රන්ථයේ, පිටු අංක 95 සිට 97 හි දක්වා ඇත.
*එහි උපුටාගැනීමක් පහත දැක්වේ:*
ශ්‍රී ලංකා රජයේ ණය තොගයේද, ණය සේවාකරණයේද ප්‍රධාන කොටස දේශීය ණයය. එබැවින්, දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ විනිමය ණය හිමියන් ඉල්ලා සිටීමට සැලකිය යුතු සම්භාවිතාවක් තිබිය හැකිය. ඔවුන්ගේ තර්කය විය හැක්කේ ශ්‍රී ලංකාවේ “ණය තිරසාරභාවය” සාක්ෂාත් කර ගැනීමට නම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියද, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමගාමීව සිදු කළ යුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙනත් රටවල ණය තිරසාර තත්ත්වයන්ට ගෙන ඒමේ උත්සාහ වලදී, ඔවුන්ගේ අතීත හැසිරීම සැලකිල්ලට ගතහොත් පෙනී යන්නේ, එවැනි මතභේදාත්මක ක්‍රියාමාර්ගයකට ඔවුන්ගේ ආශිර්වාදය බොහෝ දුරට ලැබිය හැකි බවයි. දැනට ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ වලින්ද එවැනි ඉගියක් දෙනු ලබන බව හැගෙනවා. තවද, කිසි තැනක එවැන්නක් සිදු නොකර යුතු යයි ඔවුන් පවසා නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවක් හෝ අභිප්‍රායක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා නම් දැනටමත් ප්‍රකාශ කර තියෙනවා. එහෙත්, සමහර විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය පරිදි, දේශීය ණයෙන් කොටසක් කපා හරින්න යයි රජයට බල කෙරෙනු ලැබුවහොත්, එවැනි ස්ථාවරයකින් බැහැර වීමට රජයට හැකියාවක් නොතිබෙන්නටත් ප්‍රවණතාවයක් තිබෙනවා. එසේ වුවහොත්, සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් එම තීරණය ඉතා අභියෝගාත්මක වෙනවා.
මහ බැංකු දත්තවලට අනුව, 2022 ජූලි 27 දින වන විට, ශ්‍රී ලංකාවේ මුළු දේශීය ණය ප්‍රමාණය අවම වශයෙන් රුපියල් ට්‍රිලියන 13.2 ක් පමණ වෙනවා. ඒ අතර, විදේශීය ණය 2022 අප්‍රේල් අග වන විට රුපියල් ට්‍රිලියන 10.9 ලෙස වාර්තා වී තිබෙනවා. එනම්, මුලු ණය අවම වශයෙන් රුපියල් ට්‍රිලියන 24.1 පමණ වෙනවා.
දේශීය ණය තොගය වන රුපියල් ට්‍රිලියන 13.2 න් වැඩි කොටසක් සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, රාජ්‍ය බැංකු (ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව), අනෙකුත් පුද්ගලික බැංකු සහ රක්ෂණය සමාගම් සතු වේ. මීට අමතරව රුපියල් ට්‍රිලියන 2.3 ට අධික භාණ්ඩාගාර බිල්පත් තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුවට හිමිවන අතර, ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් ද රජයේ දේශීය ණය සුරැකුම්පත්වල ආයෝජන කර තිබෙනවා.
එම පසුබිම තුළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වගකීම් නොදරන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විදේශ “උපදේශකයින්” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ණය තිරසාර” අවශ්‍යතා සපුරාලීම සඳහා, රජයේ දේශීය ණය තොගයේ 20% ක පමණ “ කපා හැරීමක්” ක්‍රියාත්මක කිරීමට අවධාරණය කළහොත්, ඒ හරහා රජයේ දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 2.6 ක් වැනි දැවැන්ත කපා හැරීමකට භාජනය විය හැකියි. එය ශ්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය අංශයට දරාගත නොහැකි, උකහා ගැනීමටත් අපහසු, ඔරොත්තු නොදෙන, අතිශයින් භයානක කම්පනයකට තුඩු දෙනු ලබන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එවැනි සිදුවීමක් නිසැකවම සමස්ත මූල්‍ය පද්ධතියම බිහිසුණු කැලඹීමට භාජනය කළ හැකි අතර, ඒ හරහා, ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන පද්ධතිය ඉතා භයානක ලෙස දෙදරනුද ඇත.
2022 අප්‍රේල් 12 වැනිදා හදිසියේම "ස්වෛරී ණය පැහැර හැරීම" ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේදී එහි බරපතල ප්‍රතිවිපාක ගැන මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ නිලධාරීන් වන වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ වත්මන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙදෙනා අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුව තිබුණා. ජනාධිපතිවරයාගේ ණය ආශ්‍රිත උපදේශකවරු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශාන්ත දේවරාජන්ද මෙහි බරපතලකම ගැන හොදින් දැන සිටියා. එමෙන්ම, 2022 සැප්තැම්බර් මස 1 වැනිදා එවකට මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ ගරු එම්. යූ. එම්. අලි සබ්රි පාර්ලිමේන්තුවේ කියා සිටියේ, ඔහුද මෙම අතිශයින් අර්බුධකාරී තීරණයට සෘජුවම සම්බන්ධ වූ බවයි. ඒ නිසා ඔහු එහි වගකීම භාරගන්නා බවයි. එසේ නම්, ඔහුද මෙම තීරණයේ බරපතලකම ගැන දැන සිටිය යුතු බව උපකල්පනය කල හැකියි.
ඒ අනුව, ඔවුන් සියලු දෙනාම අවශ්‍ය පූර්ව අනුමැතියකින් තොරව මෙම “ණය පැහැර හැරීම” කඩිමුඩියේ නිවේදනය කරන්නට සෘජුවම සහ වක්‍රාකාරව සම්බන්ධ වී ඇති බව දැන් ඉතා පැහැදිළිවම සනාථ වී තිබෙනවා. එබැවින්, මුදල් මණ්ඩලය, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඇතුළු අදාළ වගකිවයුත්තන්ගේ අවශ්‍ය පූර්ව අනුමැතියකින් තොරව, අනවසර සහ නීති විරෝධී ලෙස “ණය පැහැර හැරීමේ” ක්‍රියාව මෙම පුද්ගලයන් කීපදෙනා සිදු කළේ මන්දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කඩිනමින් විධිමත් හා පුළුල් නෛතික විමර්ශනයක් සිදු කිරීම ඉතා වැදගත් වන බව නැවත වරක් අවධාරණය කළ යුතුමය.
1948 පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනය සිට 2022 අප්‍රේල් මස 12 වැනිදා දක්වාම වසර 74 කට අධික කාලයක් තුළදී, ශ්‍රී ලංකාවේ සියලු ණය සේවා වලට ගරු කිරීමට හැකි වුයේ, 2022 අප්‍රේල් 12 දිනට පෙර සේවය කළ මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් සහ භාණ්ඩාගාර ලේකම්වරුන් යටතේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණය වෘත්තීමය ආකාරයට කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. 1996 ජනවාරි 31 වැනි දින ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් කිලෝ ග්‍රෑම් 500 ක දැවැන්ත බෝම්බයක් මහ බැංකුවට එල්ල කරමින් මහ බැංකුවට මහත් විනාශයක් සිදුකළ දිනයේදී පවා, මහ බැංකු නිලධාරීන් තම ශරීරයේ විවිධ තැන්වල වෙලුම් පටි බැදගෙන, ලේ පෙරාගෙන, ණය ගෙව්වා. එවැනි පෞඩ ඉතිහාසයක් ශ්‍රී ලංකා රජයට සහ මහ බැංකුව සතුව තිබුණා. එහෙත්, එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරමින්, බලධාරීන් කීපදෙනෙකු විසින් 2022 අප්‍රේල් 12 වැනි දින සිදු කරන ලද ස්වෛරී ණය පැහැර හැරීමෙන්, මුලු ආර්ථිකයම ඝාතනයට ලක් කරනු ලැබුවා. මුලු රටම ජාත්‍යන්තර කුණු කූඩයට වැට්ටුවා. සමස්ත ජාතියේ අනාගතයම බරපතල අනතුරක හෙළා දැම්මා. මුලු සමාජයම අවුල් ජාලයකට පත් කළා.
එම ක්‍රියාවලිය මුලු රටේම දැවැන්ත අවාසනාවක් වන අතර, එය මෙම බලධාරීන් විසින් රටට කරන ලද දැවැන්තම ද්‍රෝහීකමකි.