සිගරට් කියන්නෙත් බොන-නොබොන හැමෝම අවිවාදයෙන් පිළිගන්නා මිනිසුන්ට වැදගම්මකට නැති පමණක් නොව සෞඛ්‍යයට බරපතළ ලෙස හානිදායක පරිභෝජන භාණ්ඩයකි. එනම් අත්‍යවශ්‍ය භාණ්ඩයකුත් නොවන, තිබුණත් එකයි-නැතත් එකයි භාණ්ඩයකුත් නොවන, ඇත්තටම නැතිවුණොත් හොඳයි කියලා හිතෙන භාණ්ඩයකි. එහෙම නම් මේ භාණ්ඩය පවත්වාගෙන යන්නෙ ඇයි? බොහෝ දෙනා හිතා සිටින්නෙත් නොදන්නා කමට ප‍්‍රකාශ කරන්නෙත් රජයට විශාල බදු මුදලක් ලැබෙන නිසා මේ සමාගම පවත්වාගෙන යනවා ය කියායි. සමහරු විශ්වාස කරන්නේ රජය පවතින්නේ සිගරට් සමාගම නිසා කියායි. දුම්කොළ සමාගම ද රටට පෙන්වන්න හදන්නේ ඒ ආකාරයටමය.
නමුත්. . . දැන්වත් මේ රටේ පුරවැසියන් ඇත්ත තේරුම් ගැනීම අනිවාර්ය වේ. ඒ නිසා මේ නිර්දය සත්‍ය හෙළි කරන්නට අපි කටයුතු කළෙමු. අද වනවිට රජයේ සමස්ත ආදායමෙන් දුම්කොළ බදුවලින් ආවරණය කරන්නේ 6%ක් වැනි සුළු ප‍්‍රමාණයක් පම◊. 1990 ගණන්වල 11% විතර වුණ එම බද්ධ අද 6% විතර දක්වා අඩු වී තිබේ. කවුරු කෙසේ කීවත් රුපියල් වලින් නොයෙක් ආලවට්ටම් පෙන්නුවත් සිදු වී ඇත්තේ අපේ ජාතික ආදායමට සිගරට් බදුවලින් එකතු වන මුදල එන්න එන්නම පහළ බැසීමයි. අනෙක් අතට මේ සියලූ බදු මුදල් අපේ රටේ පුරවැසියා සිගරට් බීලා දුප්පත් වෙවී ගෙවන ඒවා බවත් තේරුම් ගත යුතුයි. එසේ නොමැතිව මේවා බි‍්‍රතාන්‍යයෙන් ඇමෙරිකාවෙන් ගෙනත් අපට ගෙවන බදු මුදල් නොවේ. මේ සියල්ලම කළාට පසු සමාගමට ලැබෙන අතිමහත් ලාභය ඔවුන් බි‍්‍රතාන්‍යට සහ ඇමෙරිකාවට පැටවීම අවසාන වශයෙන් කරනු ලබයි.
දුප්පත් වුණ මිනිස්සුන්ට ආධාර, සහනාධාර දෙන්න ආපහු ඒ රටවල් වලින්ම ණය ගන්නත් රජයට සිදු වෙනවා. මෙය දුගී බවේ විෂම චක‍්‍රය හසුරුවන ප‍්‍රධාන සාධකයකි. මෙම සමාගමට වැදගත්වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය පමණයි. රජය කීයක් බදු ගැහුවත් එය සිගරට්ටුවට එකතු කර අපේ මිනිස්සුන්ගෙන් අරගෙන රජයට දී තමන්ගෙ ලාභය තම මවු රටවලට යැවීම පමණයි ඔවුන්ගේ එකම අරමුණ. කුමන ක‍්‍රමයට කළත් ලාභයෙන් 92.6% ඔවුන් අපේ රටෙන් ඔවුන්ගේ රටවලට අරගෙන යනවා. අවසානයේදී සිදු වෙන්නේ සිගරට් සමාගම රටට බදු ගෙවනවා කියා මායාවක් නිර්මාණය කර අපේ රටේ පුරවැසියන් සතුව තියෙන මුදල් වසරක් පාසා පිටරට පැටවීමයි. මේ වන විට භාණ්ඩාගාරයේ යම්කිසි කූඨ නිලධාරීන් පිරිසක් රජය පනවන දුම්කොළ බද්දෙන් කොටසක් මිල වැඩිවීමක් ලෙස සමාගමට ආපසු ලබා දීමේ සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කරමින් ඇත.
සමාගමට මෙම අති විශාල මූල්‍යමය ලාබය ලැබෙන්නේ කිසිදු ආකාරයකට නව නිශ්පාදන යෙදවුමක් හෝ ආයෝජනයකින් තොරවයි. රජයට මුදල් අවශ්‍යව තිබියදී දුම්කොළ බද්ද මගින් ලබාගත යුතු මුදල් පවා බහුජාතික විදේශීය සමාගමකට නිස්කාරණේ ත්‍යාග ලෙස ආපසු ලබාදීමට තීරණ ගන්නා නිලධාරීන් රටට හෙළි කළ යුතුය.
මේ සියල්ල මෙසේ වෙද්දීත් රජය හෝ මෙම සිගරට් වලින් ප‍්‍රමාණවත් බදු ආදායමක් ලබනවා නම් ‘‘ඒකවත් කමක් නෑ’’ කියලා හිත හදාගන්න මහජනයාට හැකියි. ලෝකයේ සිගරට් මත අය කරන බදුවලින් අඩුම බදු අය කරන රටවල් අතර ප‍්‍රධාන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාවලට අනුව, කියුබාව සිගරට් මත 87%ක බදු මුදලක් අය කරයි. එසේම එංගලන්තය 73%ක්ද ඊශ‍්‍රායලය 68%ක්ද බදු මුදල් ලෙස සිගරට්වලින් අය කරති. නමුත් ශී‍්‍ර ලංකාව සිගරට් බදු ලෙස අය කරන්නේ 59%ක් පමණි. එපමණක් නොව දැන් එම බදු මුදලද එන්න එන්නම අඩුවන තත්ත්වයකට සිගරට් බදු අයකිරීමේ ක‍්‍රියාවලියක් භාණ්ඩාගාර කූඨ නිලධාරීන් විසින් හඳුන්වා දී ඇත.
බොහෝ රටවලට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකාවේ අනිකුත් සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම අනුව සිගරට් මිල ඉහළ නොයන්නේ ඇයි? එය කාගේ උවමනාවකට සිදුවන්නක් ද? සිගරට් මිල ඉහළ ගියාට රටේ ජනතාව අසතුටු නැත. එසේම ජාතියක් ලෙස අප දුක් විය යුත්තේ මිල ඉහළ යාම පිළිබඳව නොව එසේ නොයාම පිළිබඳවය. සියලූ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමටත් උද්ධමනයටත් මිලදී ගැනීෙමි හැකියාවටත් සාපේක්ෂව අද රු. 23.00කට වෙළෙඳපොළේ අලෙවිවන සිගරට් එකක මිල අවම වශයෙන් රු.30.00කට වඩා වැඩිවිය යුතු බව ආචර්ය නිශාන් ද මෙල් මහතා සිදු කළ සමීක්ෂණයකින් පවා පෙන්වාදී තිබු◊. එමෙන්ම තව≥රටත් බදු පැනවීම මගින් එසේ මිල ඉහළ නොදැමීම හේතුවෙන් වසරකට රජයට රුපියල් බිලියන 16ක (රු. 16,000,000,000) පාඩුවක් සිදු වෙයි. එසේම පහුගිය වසර 5 තුළ නිවැරදි පරිදි සිගරට් මිල වැඩි නොකළ නිසා සිදු වූ පාඩුව රුපියල් බිලියන 100 ක් තරම් ඉහළ අගයක් ගනී. ඒ අනුව මෙම ආර්ථික ඝාතකයන් රටට සිදු කරන පාඩුව තවදුරටත් සිදු වීම වැළැක්විය යුතු නොවේ ද? නිවැරදි ලෙස නිවැරදි ප‍්‍රමාණයෙන් මෙම බදු මුදල් අයකර ගත්තානම්, රජයට පසුගිය කාලය පුරා එම අරමුදල් අහිමි නොවුනා නම් ඒ මුදලින් ජනතාවට තවත් රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල ආදී ආයතන තැනීමට පුළුවන්කම, හැකියාව තිබුණි. ජාතියක් ලෙස ලෝකයට ණය වීමද පාලනය කරගත හැකිව තිබුණි. එසේම අවශ්‍ය නම්, මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි තවත් ව්‍යාපෘතියක්, සමෘද්ධි සහනාධාර වෙනුවෙන් වැය කරන මුදල මෙන් 10 ගුණයක් දක්වා සහනාධාර වැඩි කිරීමේ හැකියාව මේ බදු මුදල ලබා ගත්තේ නම් රජයට කළ හැකිව තිබුණි.
කරුණු සියල්ල සලකා බැලීමේදී පළමුව සිදු කළ යුතුවන්නේ, මෙතෙක් කල් වැඩි නොකළ සිගරට් බදු සියල්ල හැකි ඉක්මණින් වැඩි කර එම සියලූ මුදල් රජය ලබා ගැනීමය. එසේ වුවත් සිදුවිය හැක්කේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයකිි. මෙය මීට පෙර පෙන්වාදීමෙන් පසු අවස්ථා දෙකකදී රුපියලකින් හා රුපියල් දෙකකින් සිගරට් මිල ඉහළ ගිය නමුත් එහි වාසිය රජය ලබා ගැනීමට අපොහොසත් විය.
අතීතයේ සිගරට් මිල ඉහළයාමේදී ඉහළ යන මිලෙන් මුළු මුදලම හෝ 90% කට වැඩි ප‍්‍රමාණයක් රජය අය කරගැනුණි. එනම්, රුපියලකින් මිල ඉහළ යද්දී දුම්කොළ සමාගමට ශතයක්වත් හිමි නොවීම හෝ ශත 10 කට අඩු මුදලක් පමණක් ලැබී තිබුණි. නමුත්, පසුගිය කාලය පුරාම සිගරට් මිල ඉහළ යාමේදී රජයට ලැබෙන මුදල එන්න එන්නම අඩුවෙමින් සමාගමට ලැබෙන මුදල එන්න එන්නම වැඩි වී ඇත. අද වන විට එය 50 ට 50 අනුපාතයට බෙදීයන තත්වයට පත්වී ඇත. ඒ අනුව ඉතා පැහැදිලිවම ආණ්ඩුව එම මුදල් මහජනයාගේ සාක්කුවෙන් උදුරා සමාගමට ලබාදේ.
සියලූ බදු මුදල් රජයට අය විය යුතු තත්වයක් යටතේ මෙසේ සිදුවන්නේ මහා භාණ්ඩාගාරයේ සිගරට් බදු සකසන නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසාද නැතහොත් වෙනත් කරුණක් නිසාද යයි විමර්ශනය කිරීම ජාතික වගකීමකි. එහෙත් මේ දක්වා තත්ත්වය නිවැරදි නොවන්නේ බල සම්පන්න අත පෙවීම් නිසා යැයි අපේ හැ`ගීමයි. මෙම තත්වය පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් වසන්කර පවත්වාගෙන යාමද අපූරුවට සිදුවේ. නිවැරදි බදු මුදලක් සිගරට්වලට අය නොකරන්නේ ඒ පිළිබඳ බදු නිලධාරීන්ට නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ද? එසේ නැතහොත් දුම්කොළ සමාගමේ කූට උපක‍්‍රමවලට හසු නොවීමට තරම් නිලධාරී පැලැන්තිය සමත් නොවීමද? නිසාද යන ප‍්‍රශ්න දෙකද කෙනෙකුට ඇසිය හැක.
මේ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ සිගරට් භාවිතය හා අලෙවිය එන්න එන්නම අඩුවෙමින් පැවතුනත් දුම්කොළ සමාගමේ ලාභය එන්න එන්නම ඉහළ යමින් තිබේ. මෙය සාමාන්‍ය තත්වයක් යටතේ කිසිදු භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව සිදුවිය හැකි තත්වයක් නොවේ. එනම්, භාණ්ඩයක අලෙවිය අඩුවෙද්දී ලාභය වැඩිවන්නේ කෙසේද යන ප‍්‍රාතිහාර්ය ආර්ථික විශේෂඥයන් විසින් දැන් පැහැදිලි කළ යුතුය. මෙය රුපියල් වලින් ගණනය කිරීමේදී, අතිවිශාල මූල්‍ය වංචාවක් බව පැහැදිළි වනු ඇත. දුම්කොළ සමාගමේ දිනක ආදායම රුපියල් මිලියන 209 (රු. 209,000,000) කි. දළ වශයෙන් අලෙවි වන සිගරට් වර්ග හා ප‍්‍රමාණ සැලකීමේදී සිගරට් වල සාමාන්‍ය මිල රුපියල් 20.00ක් ලෙස සැලකුවහොත් මෙම ආදායම ලැබීමට දිනකට සිගරට් ලක්ෂ 104 (රු. 10,450,000) ක් අලෙවි කරයි. මිල වැඩි කිරීමේදී රජයට ලැබිය යුතු ශත 5ක් හෝ සමාගමට ලැබුණහොත් එම මුදල රු. 522,500.00(ලක්ෂ 5) ක් වේ. එක ශතයක්වත් සමාගමට නොලැබිය යුතු තත්ත්වයකදී පසුගිය වතාවේ රුපියල් 2.00කින් සිගරට් මිල ඉහළ යද්දී රු. 1.00ක් ලැබීමෙන් සමාගම දිනකට ලබාගන්නා ආදායම ලක්ෂ 100ක් (රු. 100,000,000) තරම් වන අතර වසරකට එය රු. මිලියන 3650 (රු. 3,650,000,000)ක් තරම් අති විශාල මුදලකි. සමාගමට මෙම අති විශාල මූල්‍යමය ලාභය ලැබෙන්නේ, කිසිදු ආකාරයක අමතර ප‍්‍රාග්ධන දායකත්වයකින් තොරවය. රජයට මුදල් අවශ්‍යව තිබියදී රටට ලැබිය යුතු බදු මුදල් බහු ජාතික විදේශ සමාගමකට නිකරුණේ (නිකරුණේ නොවන බව පැහැදිලිය) ත්‍යාග ලෙස ලබාදීමට තීරණ ගන්නා නිලධාරීන් සම්බන්ධව මහජනයාට හෙළිදරව් කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බව අපගේ අදහස වේ. මෙතරම් මුදලක් රජයටත්, රටටත් අහිමි කරන්නට තරම් මහා භාණ්ඩාගාරයේ ඉන්න ආර්ථික ඝාතක නිලධාරීන්ට බලය දී ජාතියක් ලෙස බලානොසිටිය යුතු බවද අපි අවධාරණය කරමු.
1998 වර්ෂයේ සිට 2010 දක්වා සිගරට් අලෙවි වු ප‍්‍රමාණය සහ දුම්කොළ සමාගම උපයාගත් ආදායම පැවැති රජයන්ට අනුව එම ප‍්‍රස්තාරයෙන් නිරූපනය වේ. මෙය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 1994 සිට සිගරට් අලෙවිය අඩුවෙමින් පැවැති අතර 2010 පසු නැවත වැඩි වීමේ ප‍්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බවයි. මෙහි විශේෂිත සිදුවීම ලෙස පෙනී යන්නේ සිගරට් අලෙවිය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වුවත් දුම්කොළ සමාගමේ ලාභය සීග‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඊට අමතරව රජයට ලැබෙන බදු මුදල තීරණය වන්නේ දිනකට සමාගමෙන් නිකුත් කරන සිගරට් ප‍්‍රමාණය මතයි. දිනකට සිගරට් ලක්ෂ 104 ක් නීත්‍යනුකූල ලෙස පිටවෙද්දී තව කොපමණ ප‍්‍රමාණයක් ගණනය කිරීමකට ලක් නොවී පිටවෙනවාදැයි දන්නේ සමාගමත් එම සිගරට් ගණන් කිරීම සඳහා යොදා සිටින සුරාබදු නිලධාරීන් දෙදෙනාත් පමණි. දිනකට සිගරට් ලක්ෂ 10ක් නීත්‍යානුකූල නොවන ලෙස වෙළඳපොළට නිකුත් කරගතහොත් එහි සමස්ත ආදායම බදු ගෙවීමකින් තොරවම සමාගමට ලැබෙනු ඇත. නැවතත් සිගරට්ටුවක මිල රු. 20.00ක් ලෙස සැලකුවහොත් දිනකට ලැබෙන නීත්‍යනුකූල නොවන සිගරට් අලෙවියෙන් ලැබෙන ආදායම රු. ලක්ෂ 200 (රු. 20,000,000) කි. එනම් වසරකට රුපියල් මිලියන 7300 (රු. 7,300,000,000)කි. මෙය දිනකට සිගරට් ලක්ෂ 10ක් පමණක් ගණනය කිරීම්වලට ලක්නොවී සමාගමෙන් පිටවුවහොත් පමණි.
තත්වය මෙසේ වෙද්දී, සමාගම රටට හොර සිගරට් ගෙන්වීම සම්බන්ධව ප‍්‍රකාශ නිකුත් කරයි. මෙතරම් බදු වංචා කර අධික ලෙස ලාභ ලබමින් සිගරට් සමාගම මේ උත්සාහ කරන්නේ, හොරෙන් රටට සිගරට් ගෙන්වන බවත් එසේ ගෙන්වන්නේ රජය අය කරන බදු වැඩි නිසා බවත් උලූප්පා පෙන්වා රජය සිගරට් මත අය කරන බදු අඩු කර ගැනීමටය. ලෝකයේ මහා පරිමාණයෙන් සිගරට් නිෂ්පාදනය කළ හැකි සමාගම් ඇත්තේ අතළොස්සකි. එම බහු ජාතික සමාගම් 4-5 අතර පූර්ණ එක`ගතාවයක් ඇතිව ලෝකය පුරා සිගරට් අලෙවිය සිදු කරයි. එබැවින්, අප රටට ගෙන්වන හොර සිගරට් අලෙවියේ අවසන් ලාභය ඔවුන්ගේ මව් සමාගම් විසින්ම ලබාගනී. එබැවින් අප රටේ පිහිටුවා ඇති ඔවුන්ගේ ශාඛාවේ ද ආශිර්වාදය ඇතිව ඔවුන් විසින්ම මෙම හොර සිගරට් ජාවාරම කරගෙන යන බව පැහැදිලිය. මේ තුළින්ද රජයට ලැබිය යුතු බදු මුදලක් සමාගම විසින්ම වක‍්‍රාකාරව අහිමි කරයි. නීත්‍යනුකූල සමාගම් මැදිහත්වීම් යටතේ හොර සිගරට් ජාවාරම සිදු≥වන බව අසල්වැසි ඉන්දියාවේ පවා සිදුකළ වැටලීම්වලදී හෙළිවී තිබේ. ඉඳහිට සාමාන්‍ය වැසියෙක් හොරෙන් සිගරට් ප‍්‍රමාණයක් ගෙනාවද බහු ජාතික සිගරට් සමාගමේ අලෙවි ජාලය තුළින් කිසිසේත් එම සිගරට් අලෙවි කිරීමේ හැකියාවක් නැත.
එබැවින්, හොර සිගරට් ගෙන්වන බවට දෙන ප‍්‍රචාරය මුවාවෙන් සිගරට් බදු අඩු කර ගැනීමට සමාගම දරන උත්සාහයට නොරැවටී රුපියල් බිලියන ගණනින් සමාගමත් මහා භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීනුත් එකතුවී කරන කූට උපායන් දැන්වත් තේරුම් ගත යුතුය. රටට අහිමි කරන බදු ආදායම් දැන්වත් නිවැරදි කිරීමට සිගරට් මිල ඉහළ දමා එම සියලූ බදු මුදල් රජය ලබා ගැනීමට වගකිවයුත්තන් දැන්වත් මැදිහත් විය යුතුය. මෙතෙක් එසේ සිදු නොවීමට වගකිව යුත්තන් කවුරුන්දැයි හෙළිකර මෙම බදු මුදල් වංචාවේ සුලමුල රටට පැහැදිලි කළ යුතු නිසා, මෙය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටට ඇත්තටම ආදරය කරන සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රමුඛ වගකීමක් ලෙස සලකා වහා ක‍්‍රියාත්මක විය යුතුය.
- චානක තෙන්නකෝන්