2011/12 මුදල් වසරේදී සමාගම විසින් රුපියල් මිලියන 390 ක ශුද්ධ ආදායමක් ලබා තිබෙන අතර වාර්තා කර තිබෙන බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 190 ක් හා බදු වලට පසු ලාභය රුපියල් මිලියන 126 ක්වේ.
මේ අනුව, සමාගමට සියයට 32 ක ඉතා යහපත් ශුද්ධ ලාභ පරාසයක් පවත්වා ගැනීමට හැකිවී තිබෙන අතර ගිය වසරේදී සියයට 26 ක්වූ එම අනුපාතය සමග සසඳනවිට මෙය වර්ධනීය තත්ත්වයකි. මීට අමතරව, 2011/12 මුදල් වසරේදී සමාගමේ කොටසකට අදාළ ලාභය (Earnings per share) රුපියල් 8.35 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ගිය මුදල් වසරේදී වූ රුපියල් 6.04 ක මට්ටමක සිටයි. එසේම, කොටසකට අදාළ ශුද්ධ වත්කම් ප්‍රමාණයද (Net Assets per Share) රුපියල් 43.59 ක සිට රුපියල් 50.44 ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ.
ලංකා ක්ලියර් සමාගමට අයත් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (Cheque Imaging and Truncation System (CITS)) තුළින් මෙම මුදල් වසරේ නිශ්කාශනය කළ චෙක්පත් ප්‍රමාණය ගිය මුදල් වසරට සාපේක්ෂව සියයට 8 කින්ද නිශ්කාශනය කළ චෙක්පත්වල සමස්ත වටිනාකම සියයට 12 කින්ද වැඩිවූ බව ලංකා ක්ලියර් සඳහන් කරයි. මේ අනුව, සමාගම විසින් 2011/12 මුදල් වසරේදී රුපියල් බිලියන 6,335 ක් වටිනා චෙක්පත් නිශ්කාශනය කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (Lanka Interbank Payment System (SLIPS)) තුළින් නිශ්කාශනය කළ උපකරණ මේ මුදල් වසරේදී ගිය මුදල් වසරට වඩා සියයට 1.6 කින් වර්ධනය වී තිබෙන අතර ඒවායේ වටිනාකම පසුගිය මුදල් වසරට වඩා සියයට 30.9 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. මේ අනුව, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය තුළින් 2011/2012 මුදල් වසරේදී නිශ්කාශනය කළ උපකරණවල වටිනාකම රුපියල් බිලියන 454 ක්වේ.
වාර්ෂික මහ සභා රැස්වීමේදී අදහස් දක්වමින් ලංකා ක්ලියර් සමාගමේ සභාපතිනී, ප්‍රියන්තා ලියනගේ මහත්මිය සිය කොටස් කරුවන්ට පැවසුවේ 2012 වසරේදී ලංකා ක්ලියර් සමාගම මෙරට මූල්‍ය අංශයට සේවා සැපයීමේ සිය දසවන සංවත්සරය සමරන බවයි. පසුගිය දශකය තුළ ලංකා ක්ලියර් සමාගම සිය පුද්ගලික හා රාජ්‍ය අංශයේ අනන්‍යවූ ඒකාබද්ධතාවයේ විශිෂ්ටත්වය තුළින් ජාතික චෙක්පත් නිශ්කාශන ආයතනය යන තත්ත්වයේ සිට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා යන තත්ත්වය දක්වා ඉදිරියට පැමිණි බව මෙහිදී ඇය සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය කියා සිටියේ පසුගිය වසර දහය තුළ ලංකා ක්ලියර් සිය සේවා පුළුල් කළ බවත් පරිමාණානුකූල පිරිමැසුම් මෙරට බැංකු ක්‍රමයට ලබාදුන් බවත් මෙරට ගෙවීම් පද්ධතිවල කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට කටයුතු කළ බවත්ය.
මේ වනවිට, ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන පොදු පත් හා ගෙවීම් පද්ධතිය (Common Card and Payment Switch (CCAPS)) පිළිබඳව සභාපතිනිය කොටස් කරුවන්ට විස්තර කිරීමක් කළ අතර ජාතික ගෙවීම් පද්ධතිය ලෙස මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවත් මෙය මගින් මෙරට අනාගත ඉලෙක්ට්‍රොනික ගෙවීම් වලට අවශ්‍ය වැදගත්ම යටිතල පහසුකම නිර්මාණය කරන බවත් ඇය සඳහන් කළාය. මීට අමතරව, පොදු පත් හා ගෙවීම් පද්ධතිය මගින් යටිතල පහසුකම් ද්විකරණය වලක්වා සම්බන්ධ වන බැංකු වලට පරිමාණානුකූල පිරිමැසුම් හා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව සභාපතිනිය වැඩිදුරටත් කීවාය.
ලංකා ක්ලියර් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවටත් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වලටත් අයත් වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=484771470